Monday, February 25, 2013

අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා - අවසන් කොටස

කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන්  ගලා ආ  දැවැන්ත සුළඟ අප  හිටි  තැනම  
නොසෙල්වා තබන්නට සමත්විය. හදිස්සියට අල්වා  ගන්නට  කිසිවක්ද නැත. සැබවින්ම අප මුහුණ  දුන්නේ ත්‍රාසජනක අවස්ථාවකටය.  විනාඩි  කිහිපයක්ම මේ  ආකාරයෙන්  නොසෙල්ව ගත කල අපට   සිතට යම් සහනයක් දැනෙන්නට ගත්තේ ගලා ආ දැවැන්ත සුළං  කඳ සහ  මිහිඳුම ක්‍රමයෙන්  පහව   යන්නට ගත්තයින්  පසුවය. ක්ෂණයෙන් අපගේ  පා ඉක්මනක් කල අප මාර්ගය ඔස්සේ   පහලට ගමන් කලේ නැවතත් ත්‍රාසජනක අවස්ථාව කට මුහුණ  දීමට ප්‍රථමයෙනි.  ඒ  යන අතරතුරද ආරක්ෂිතයි හැඟුණ ස්ථානයක නැවතී ඡායරූප ගන්නටද  අමතක නොකළෙමු.   ඒ හැම අවස්ථාවකම අප විමසිලිමත් වුයේ හමන සුළඟ පිළිඹඳවය. 






අතුරු මාර්ග  ඔස්සේ පහලට පැමිණි අප  වෑන් රථයට ගොඩ වුයේ පල්ලේගම මාර්ගය ඔස්සේ  තවදුරටත් ඉදිරියට යාමටය. පරිසරයේ  අලංකාරයට වශිව සිටි අප සැම වෑන් රථයට  එක්කාසු කරගන්නට සැහෙන වෙලාවක් ගතවුයේය.

එතනින් ඔබ්බට වූ මාර්ගයේ  චමත්කාරය මෙතක්ය  කියා නිම කර  නොහැකිය,  ඒ තරම්ම අලංකාරය. දඟර ගැසූ මාර්ගයක් ඔස්සේ  විටෙක තැන්නක් ඔස්සේ මාර්ගය දිව  යන්නේය. සිහිවන්නේ හෝර්ටන් තැන්න දක්වා ගමන් කරන මාර්ගයමය.  එක පසෙකින්  දැවැන්ත ප්‍රපාතයකි.  සුන්දර දසුන් පිරි පල්ලේගම මාර්ගයේ  තවදුරටත් ඉදිරියට ගමන් කල අප  ළඟාවූයේ  පිටවල පතන (දික් පතන) වෙතය. වචනයකින්   කිව නොහැකි සුන්දරත්වයක් අප වටා දර්ශනය වුයේ අප සැවොම ප්‍රබෝධමත් කරමිනි. සුන්දරත්වයෙන් අනුන වූ  එම ප්‍රදේශය  හාත්පස තැනිතලා භුමිය දකින්නට වුයේය.  කෙලවර දැවැන්ත ප්‍රපාතයකි. ඈතින්  පෙනෙන ලකේ ගලද මිහිඳුමෙන්   වැසීගිය  
රිවෙර්ස්ටන් කන්දද  විටෙන් විට දර්ශනය වුයේය. විටෙක මඳ  සුළඟය  හිරිගඩු පිපෙන තරම්වූ සීතලක් ගැබ්ව හමා  යන්නේය.   තවත් විටෙක මිදුම ගලා  යන්නේ  හාත්පස  සියල්ල තෙල් කඩදාසියකින් වසා  ඇති පරිද්දෙනි. 






පිටවල පතන කෙලවර පුංචි ලෝකාන්තයක්  පිහිටා  ඇත.  එය හෝර්ටන් තැන්නේ පිහිටි  පුංචි ලෝකාන්තය තරම්ම ගැඹුරු නොවුනද ඒ හා සමාන පිහිටුමක ඇත්තේය.   මේ සඳහා ප්‍රවේශපත්‍ර ලබාගතයුතු අතර   පුංචි ලෝකාන්තය  කරා යා යුත්තේ කුඩා පඳුරු සහිත   තෙරක් නොපෙනෙන තැනිතලාවක් ඔස්සේය.     නිශ්චිතව සැදුනු මාර්ගයක් මෙහි  නොමැති අතර යා යුතු  මාර්ගය  පොළොවේ ඊතල සලකුණු මගින් පෙන්වා  ඇත.  එම සලකුණු  වලින්    යන්නේ නම් තරමක අපහසුතාවයකට  පත්වීම  වැළක්විය නොහැක්කේය.  අපද එවැනි ක්‍රියාවක   වුයේ අප පිරිසද මෙහි සත්‍ය තාවය පරික්ෂා  කරන අටියෙනි .   හොද වෙලාවට ඊතල සලකුණක්  අපට නැවත හමුවීමෙන් නියමිත මාර්ගයට අවතීර්ණ වන්නට හැකිවූ අතර එසේ නොමැති වූවානම් මාර්ගය සොයා   පුංචි ලෝකාන්තය හෝ ප්‍රධාන පිවිසුම වෙත ළඟාවීම දුෂ්කර වන්නට   ඉඩ තිබුණි.






පතන මතින් කිලෝමීටර 1 1/2 ක පමණ දුරක් ගෙවා පැමිණි පසු  අප ඇතුලු  වුයේ  තරමක වනාන්තර සහිත ප්‍රදේශයකටය. ඒ ඔස්සේ  මද දුරක් ගමන්කළ විට  පුංචි ලෝකාන්තය හමු වන්නේය.  පහලින් පැරණි  ගම්මානයක්ද දිස්වන අතර විටින් විට මීදුමෙන් වැසීගිය රිවෙර්ස්ටන් කන්ද දර්ශනය විය. සැලළිහිනියා ඇතුළු  පිරිස සුපුරුදු පරිදි පුංචි ලෝකාන්තයේ පතුල දෙස  බැලුවේ මුළු සර්වාංගයම බිම දිගා කරගෙනය.   විටෙක  අනෙකාව අල්වා ගන්නේ  තව  තවත් ඉදිරියට බඩගාමින්  පුංචි ලෝකාන්තයේ පතුල දෙස  බලන්නටය.

විටින් විට "පරිස්සමෙන් හොඳේ. " යනුවෙන්  අප සාමාජිකයෙකුගෙන් ඔවදනකි.  හමායන  මද සුළඟ  පවා අප  බියපත් කරන්නට සමත්වූයේ සුළං  කපොල්ලේ සිදුවූ සිද්දී දාමය  සිහි විමෙන්ය.  සුළඟ පිළිඹඳ නිරතුරු අවධානය යොමු කරමින්  සොබා  දහමේ අසිරිය විඳ ගත්තෙමු.





පුංචි ලෝකාන්තය  පතුලේ  පිහිටි පුරාණ ගම්මානය 
පුංචි ලෝකාන්තය  





අපගේ වාසනාවට මිහිඳුම පුංචි ලෝකාන්තය වසා  ගන්නට නොපැමිණියේය. එසේ වූයේනම්  සුපුරුදු පරිදි  හෝර්ටන් තැන්නේ මෙන්  සියල්ල තෙල් කඩදාසියකින් වසා  ඇති පරිද්දෙන්  කිසිවක්  නොපෙනෙන්න ප්‍රපාතයක් දෙස  බලා එන්නටය.




මිහිඳුමෙන් වැසීගිය  රිවෙර්ස්ටන් කන්ද 


පුංචි ලෝකාන්තයේ බොහෝ වෙලාවක්  ඔබ මොබ සැරිසරමින්   කාලය ගතකලෙමු.  එතනින්  එවත්ව යන්නට සිත  ඉඩ නුදුන්නේ එහිවූ අපුර්ව සුන්දරත්වය වචනයකින් කෝ   කිව නොහැකි ආකාරයෙන්  මුළු මහත් සිරුර පුරාම  පැතිර  ගිය නිසාවෙනි.  එමෙන්ම මෙම  ප්‍රදේශයන් තවමත් නොඉඳුල්ව පවතින බැවින්  නරඹන්නට පැමිණෙන ඔබ  මෙහි සුන්දරත්වයට හානි  නොකරන්නට වග බලා  ගන්නේ නම්  අගනේය.   ගතවූ   සෑම තත්පරයක්ම පාසා සොබා දහමේ අපුර්ව  නිර්මානයන්ගේ සුන්දරත්වයෙන් සිත ප්‍රබෝධමත් කරගත් අප  නැවතත් ඊතල මං ඔස්සේ ප්‍රධාන පිවිසුම දක්වා ගමන් කලේ දිවා ආහාරය  ගෙන තව දුරටත් පිටවල පතනේ  පහල ප්‍රදේශය  වෙත යාමටය.



පිටවල පතනේ ප්‍රධාන පිවිසුමේ  ඉඩකඩ ඇති ස්ථානයක දිවා ආහාරය ගන්නට සුදානම් වුවද  එය වෙනස්වූයේ  රජිත කියාසිටි තෙල්ගමු ඔය  පිළිඹඳ තොරතුරිනි.  වෑන් රථයට ගොඩවූ අප  තෙල්ගමු ඔය දක්වා  ගමන් කලේ  තවත් සුන්දර පරිසර පද්ධතියක් ඔස්සේය. කිලෝ මීටර 4 ක පමණ දුරක් ගෙවා ගිය මාර්ගයද  සුන්දර පරිසර පද්ධතින් ඔස්සේ ඇදී  යන්නේය.    මෙම මාර්ගය වස්ගමුව දක්වා  විහිදී යන අතර  මෙතැන්  සිට  කිලෝමීටර 37 ක් පමණ දුරක් ඒ සඳහා ගමන්කළ යුතුය.

රිවෙර්ස්ටන් සිට කිලෝමීටර 12ක්  ගෙවා ආ පසු තෙල්ගමු ඔය හමුවේ නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ ගලා යන තෙල්ගමු ඔය ශ්‍රී ලංකාවට ආවේනික මල් පෙතියා නම් සුන්දර මත්සයා ජිවත් වන එකම පරිසර පද්ධතිය ලෙස  සැලකේ.  එහි වුවද මල් පෙතියා දක්නට  ලැබීම ඉතාම දුෂ්කරය.




වස්ගමුව  කරා දිවෙන මාර්ගයේ තෙල්ගමු ඔය පාලම 
වස්ගමුව  කරා දිවෙන මාර්ගය 
වස්ගමුව  කරා දිවෙන මාර්ගය 
තෙල්ගමු ඔය
සුන්දර තෙල්ගමු ඔය ඔය  දුටු සැනින් අප  කෙරේ පවතී  යම්  විඩාවක වූ  සියලු   ලකුණුද මැකී  ගියේය.  දිවා ආහාරය ගැනීමටත් වඩා සීතල ජලයේ බැස  දිය කෙලියේ  නිරත  වන්නට  දැඩි ලෙසම ඇලුම් කලේ සැලළිහිනියා, සමිත් සහ සංජීවත් ය.  සියලු දෙනාම එක්ව දිවා ආහාරය ගන්නට වූ අතර අප තිදෙනා අනික් අයට වඩා  ඉක්මනින් දිවා ආහාරයෙන් සප්පායම්  ඇඳුම් මාරු කරගෙන දිව ගියේ තෙල්ගමු ඔය  කරාය.  කරවටක්  හෝ  ජලය  නොමැති ඉසව්වක  ජලයේ  ඒ මේ ඇත පෙරළෙමින් සිටියේ අනෙක් පිරිස  දිවා ආහාරය ගෙන එන තුරුය. අප තිදෙනා ජලයේ ඔබ මොබ පිහිනන්නට උත්සහ දරන ආකාරය දුටු  අපේ  අනෙක් සාමාජිකයින්  පවසුවේ,

  

 "  යකෝ මුන්ට  වතුර වලක්  හරි දැක්කොත් බේරන්න බැ.  ගිය   ආත්මේ මාළුවෝ ද   කොහෙද මුන් නම්. අපි කාල ඉවරවෙනකම් වත්  හිටියේ  නැනේ " 

 එම ප්‍රකාශයේ  සත්‍යතාවයක් නැත්තේද නොවේ.  කොහේ  හෝ චාරිකාවක නිරත වන්නේ නම් වැවක,  ගංගාවක, හෝ  මුහුදේ  හෝ දිය නැමේ  දැඩි ආශාවකින්   
සැලළිහිනියා පසු වනේය.   මෙවර  සමිත් සහ සංජීවද එවැනිම දැඩි ආශාවකින්  පසු වූ බැවින් අප තිදෙනාම තෙල්ගමු ඔයෙන් ඉවතට  අනිම පහසු  නොවූයේය.  විටෙක   අපව ඉවතට ගන්නට  " ඔන්න බන් දිය බරියෝ  සෙට් එකක්  පින්  එනවා උබලව  කන්න...  පරිසම් කරගනිල්ලා උබලගේ *******  :D "

දිය බරියන්  නොව කිඹුලන් ඔයේ  සිටිනවා කීවද අප ඔයෙන්  ඉවතට ගන්නට පහසු  නොවිය.  එනමුදු නිරන්තරයෙන් අවට  දෙස සුපරික්ෂාකාරී වුයේ බැරි වෙලාවත් දිය බරියෙක් හෝ  සිටීද බලන්නටය.

කිඹුලෙක් හෝ අඩුම  ගන්නේ කබර පැටියෙක් වත් නොසිටි තෙල්ගමු ඔයේ විවිධාකාරී මත්ස්‍ය   විශේෂ කිහිපයක් දක්නට ලැබුන අතර සමහර මත්සයින් අප  වටකර කොටන්නට ගත්තේ උන්ට අප ආහාරයට ගන්නට  හැකි යයි සිතාගෙන විය යුතුය.  මුලදී මදක් පීඩාකාරී වුවද අපට එය ආශ්වාදයක් වුයේ එක්තරා ආකාරයක මත්ස්‍ය සම්භාහනයක්  අපගේ දෙපාවලට නොමිලේම ලැබුණු නිසාය.

අනෙක් පිරිස  දිවා ආහාරය සහ 8%+  ශරීරයට එක්  කරගෙන 
තෙල්ගමු ඔය වෙත  පැමිණි පසු  අප සියලු දෙන  ඔය ඔස්සේ  ඉහලට ගමන් කලේ  කරවටක් ගිලි  නාගන්නට සුදුසු  ස්ථානයක් සොයාය. ස්භාවික නාන  තටාකයක්  බඳු  ස්ථානයකට පැමිණි අප සිත්සේ  ජල ක්‍රීඩාවේ  නිරත වූයෙමු.  එකවස්තාවක දැන්  ඇතිය  කියා  ගොඩට වී සිටි අප  තිදෙනා නැවතත් ඔයට බැස  ගත්තේ  තව දුරටත් ජලයේ  සිටින්නට තිබු දැඩි ආශාව  නිසාමය. 

මේ ආකාරයෙන්  පැය 1 1/2 පමණ  කාලය ගතව  යන්නට ඇත.  තවමත් කිසිවෙකුට ගොඩට එන්නට අදහසක් ඇතිව තිබු ආකාරයක් පෙනෙන්නට  නොමැත.  අප තිදෙනා සහ නවරත්න ඩබල  හැරෙන්නට අනෙක් පිරිස  8%+ වලින් සප්පයම්ව සිටි  නිසා  ඔවුන්ගේ  සමාහාර කතා අප  සිනා සාගරයක  ගිල්වන්නට සමත් වුයේය.  තේරුම්  ගන්නට  සිහි බුද්ධියක් තිබුනේ නම් තෙල්ගමු ඔයේ සිටින මත්සයින් පවා  සිනා සෙනු  නො අනුමානය. තවත් කාලය  ගෙවී යද්දී රජිත  හඬ අවදි කලේ

"  ළමායි, මම  මේ  පරිසරේට ගොඩාක් ආදරේ  කරනවා. මම ඉන්න ආසම පරිසරයක් මේක. මේක විනාස කරන්න   හොද නෑ. "


අපිද ඔහුගේ ප්‍රකාශය එකහෙලාම අනුමත  කළෙමු.  මෙයට පෙර තෙල්ගමු ඔය නරඹන්න පැමිණ සිටි  පිරිස විසින් තැන තෙන දම තිබු මධ්‍යසාර  බෝතල්  සිය  ගණනක් තැනින් තෙන  දමලාය සමහර ඒවා  කුඩු කර  ඔයට දමලාය . එක අවස්ථාවක මාගේ පාදයක්   එසේ  කුඩු කර තිබු  විදුරු බෝතල් කෑල්ලක පෑගී නොකැපී බේරුනේ 99නි.  අපට  හැකි ආකාරයෙන් එසේ තැනින් තැන දමා තිබු  පොලිතින් සහ විදිරු  බෝතල් මෙන්ම ප්ලාස්ටික් බෝතල් සහ බියර් ටින් ඔයෙන්  ඉවත් කර දැමුවෙමු. 

පරිසර සුන්දරත්වය විඳින්නට පැමිණෙන අපගේම මිනිසුන් එම සුන්දර පරිසරය සිත්සේ විඳ පරිසරයට කෙළෙහිගුණ  සලකන්නේ ගෙනා අපද්‍රව්‍ය එහි දමා එමෙන්ය. 

ඒ  කටයුත්තද අවසන්  කල අපි ඔයෙන් ගොඩ එන්නට සුදානම් වූ විට නැවතත් රජිත  හඬ අවදි කලේ 
 
"අපි කලින් අපු සැරේ මේ  ළඟ දිය ඇල්ලක් බලන්න ගියා . ඔය දිගේ  ඉහලට  යමු. " 

දිය ඇල්ලක් නැරඹීමේ  අදහසද  සිතට තදින්  කා වැදී තිබු  බැවින් අප සියලු දෙනා ඔය ඔස්සේ  ඉදිරියට ගමන්  කලේ දිය ඇල්ලක්  හමුවන තුරුය.  යාමට නිසි  මාර්ගයක් නොමෙති  ඔය දිගේ දිය සෙවල බැඳී  ගල් මතින් අවදානම්  ගමනක නිරත වෙමින් කිලෝ මීටරයක් පමණ ගමන් කළෙමු. එන්න එන්නම් ගල් පර්වත ගහනය.  ඔයේ  ජාල  මට්ටමද අඩුය. දිය ඇල්ලක් තියා 
දිය ඇල්ලක් කඩ හැලෙන ශබ්දයක් හෝ ඇසෙන්නට නැත.     මේ සේ  ගමන් කරද්දී ඔයේ  දැඩි වංගු ස්වභාවයක් තිබු අතර  සමිත් ප්‍රකාශ කලේ 

"අයියා අපි අර වංගුවට ගිහින්  බලමු. එතනින්  එහාට යන  එකේ තේරුමක් නැනේ."

සමිත් කියූ පරිදි එම  වංගු සහිත ස්ථානය අපගේ ගමනේ  සිමාව කර  ගතිමු.  එනමුදු  ඒ වෙත   යාමද සිතු තරම් පහසු නොවිය.  කලාතුරකින්   මිනිස්  පහසක්  ලැබූ  දිය සෙවල පිරි  ගල් ඔස්සේ  අසීරුවෙන් ගමන් කල අප  අපගේ  සිමාව වෙත ළඟා වීමු. මේ  ආකාරයෙන් තවත්  ඉදිරියට යාම   නිෂ්ඵල බවක්  අපට හැඟී තිබුණි එක්කෝ  රජිත කියූ දිය ඇල්ල පාලමෙන් එහා පැත්තේ පිහිටා තිබෙන්නට ඇත.  අපට  හමුවූ දිය ඇල්ලක්  නම්  නැත. අඩුම  ගන්නේ ඔයාට වැටෙන ජල පහරක් හෝ  හමු  නොවූයේය.   වෑන් රථය නැවත ඇති ස්ථානයේ සිට කිලෝමීටර 2 1/2ක පමණ දුරක් අප  ඔය ඔස්සේ ඉහලට  ගමන් කර  තිබුණි.  නැවත ආපසු ඒමද සිතු තරම් පහසු  නොවිණි.  ඔයෙන්  ගොඩ ව  වනාන්තරය  ඔස්සේ  පැමිණි අප  වෙල් යායක්  පසු කරමින්  අඩි  පාරකට පිවිස  නැවත අප මුලින්  ස්නානය කල ස්ථානය  කර  පැමිණියෙමු. ඒ වන  විටත් නොමිනිසුන් ඔය වෙත දැමු බෝතල්, පොලිතින් රාශියක් අප   අවුත් සුදුසු ස්ථානයකට දැමුවෙමු.නැවතත්   මද වෙලාවක් ස්නානය කර තෙල්ගමු ඔයෙන් පැය 03  පමණ   ගොඩට ආවේ   යන්නට කාලය  ලංවූ බැවිනි.  එයද කැමැත්තකින් සිදු කලාවූ  ක්‍රියාවක්ද නොවිය.

අප වෑන් රථය ගොඩවී ගතවුයේ   තත්පර ගණනකි. මහා වර්ෂාවක් ඇද හැලෙන්නට වුයේ   හාත්පස මහා අඳුරක් ඇති කරමිනි.  වෙලාවට අප  ඔයෙන්  ගොඩට පැමිණ තිබුණි.  ඔයේ  ජල මට්ටමද  බල සිටියදී ඉහල යන්නට විය.  එසේ වූවානම්  බෝපත්  ඇල්ලේ සිදුවන හදිසි  ජල මට්ටම් ඉහල යාම  තුල මැද වූ  ගොඩ බිමෙහි කොටුවන්නට සිදු වන්නේය.

සිත්සේ ස්නානය කොට  ප්‍රබෝධමත් වූ අප නැවතත් මාතලේ දක්වා ගමන් ආරම්භ කළෙමු.  හාත්පස අඳුරුය.   මිහින්දුමෙන් පිරිලාය.  කිව  නොහැකි තරම් සුන්දරත්වයක් එහිද  ගැබ්ව පවතී.  වර්ෂාව  ක්‍රමයෙන් තුරල් වුවද  හිරිගඩු පිපෙන සීතලෙන් අප හිරිවැටි ගියෙමු.  මේ  ආකාරයෙන් අප නැවතත් 
 රිවෙර්ස්ටන් පිවිසුම වෙත පැමිණියෙමු.  නැවතත්  රිවෙර්ස්ටන් තරණය පිළිඹඳ කසු කුසුවකි.











"දැන් තමයි  යන්න නියම වෙලාව  අර සුළං කපොල්ල දිහා..  යමල්ලකෝ  බන් දැන්"


එකිනෙකා  අතර වාදයකි. සමහරු  යන්නට ඕන කියයි සමහරු  යාමේ අවධානම  කියයි. එකම ගාල ගෝට්ටියකි 
මේ  අතර සමහරුන් එකිනෙක  නොපෙනෙන හරං වූ  මිදුම සහ හිර්ගඩු පිපියන තරම් අධික ශිතලේද  වෑන් රථයෙන්  බිමට බැස  රිවෙර්ස්ටන් දක්වා  මාර්ගයේ  ටික දුරකද ගොසිනි.   අවසානයේ සියලු දෙනාම  නැවත රිවෙර්ස්ටන් දක්වා යාමට සුදානම්ව  ඉහලට ගමන් කරන්නට වුයේය.  එසේ  ගමන් කරන්නට හැකි වුයේ  ටික දුරකි.  මිදුම එන්න එන්නම් දැඩි  වුයේය. සුළඟ හමායන ශබ්ධය අප   බියපත් කරන්නට සමත් විය.  අවධානම්  ගැන සිත  අප  නැවත හැරුනෙමු.  කෙසේ හෝ නැවත වෑන් රථය වෙත එන්නට ගත තීරණය පිළිඹඳ එතරම් සිතට සතුටක්  ගෙන නොදුන්නද  අධික මිදුම  සහ සුළඟ හේතුවෙන්  සුළං කපොල්ලේදී යම් අනතුරක් වුයේ නම් අද  වනතුරු අප සොයා  ගන්නට  නොහැකි වනු ඇත.  උදැසන සුළඟ නිසා ඇතිවු  තත්වයද  එකෙහිනම අපගේ  සිත් තුලට ගලා ආවේය.  



නැවත වෑන් රථය වෙත පැමිණි අප  නිවෙස් කරා ගමන ආරම්භ කළෙමු. අකීකරු මාතලී මදක් වේගය අඩුකර රත්තොට දක්වා පැමිණි අතර  එතැන් සිට සුපුරුදු  බිහිසුණු වේගයකින්  මාතලේ   නගරය කරා රථය පදවාගෙන ආවේය.  

මාතලේ  නගරයෙන් රජිත , තරිඳු , සමිත් සහ සංජිව සිය නිවෙස් කරා යාමට බැසගත් අතර  ඔවුන්  ගෙන සමුගෙන අප අවතීර්ණ වුයේ පලාපත්වලින්  කුරුණෑගල දක්වා  දිවෙන දුෂ්කර මාර්ගය වෙතය. අපගේ  අකීකරු මාතලී කොතරම් වේගයෙන් රථය  ධාවනය කරාද කියතොත් මාගේ දෙපා නිරන්තරයෙන් බිමට පාගා ගෙන සිටියේ  මමද  වාහනයේ තිරිංග  යොදනවා යන හැඟීමෙනි.  වලවල්  ගහන පටු මාවතේ මාතලීගේ අකීකරු  රථ ධාවනය තුල ම ජිවිත  ආසාව අතහැර කලාවූ  සියලු කුසල්  මතකයට නාග  ගත්තෙමි.  මේද  ආසනයක වැඩිවී සිටියද  අවට  නොබලන්නට උත්සාහ දැරිමි. 

මා පමණක් නොව  අනෙකුන්ද එසේමය  මේ  ආකාරයෙන් ඉබ්බගමුවට එනවා කිසිවෙකුට  සිහියක් නැත. එතැන් සිට  කුරුණෑගල නගරයට  පාරදිගේ ආවද  නැත්නම් අහසේ ඉගිල්ලුනාද යන්න  දන්නේ අකීකරු මාතලී පමණි.   කුරුණෑගල නගරයෙන් අප සියලු දෙනාම වෑන් රථයෙන් බැස ගත්තේ  භීතිය මුසුවූ භයානක අකීකරු මාතලී ගේ රථ ධාවනය අවසන් කරමිනි. සවස 6.00 වනවිට කුරුණෑගල නගරයෙන්     නිවෙස් කරා යාමට පිටත් වුයේ  සදා  මතකයේ  රැඳෙන සුන්දර චාරිකාවක මතක සටහන්  සිතේ  තැන්පත් කරගෙනය. යහළුවෙකුගේ නිවසේ  තබා ආ යතුරු පැදියෙන්  සැලළිහිනියා සිය  නිවාස වෙත රාත්‍රී 7.00 පමණ වෙත ලඟා වුණි.....

******************************************





15 comments:

  1. machoo patta kathaawa. aasawen kiyewwa mekanam. siraama siraa...

    ReplyDelete
  2. oya trip ekak giyama mamath hena asayi naanna thiyenam

    ReplyDelete
  3. patta machan uba niyameta liyala thiyanawa

    ReplyDelete
  4. amma pissu kora macha. nice story. keep it up. im pasan

    ReplyDelete
  5. මලයා හොදට ලියනවා.දිගටම ලියන්න ආයෙමත් එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි tharaka narangoda සහෝදරයා.

      Delete
  6. මලයා හොදට ලියනවා ආයෙත් එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි tharaka narangoda සහෝදරයා.

      Delete
  7. ගොඩක් ස්තුතියි සහෝදරයා.

    ReplyDelete
  8. //ගිය ආත්මේ මාළුවෝ ද කොහෙද මුන් නම්.// :D

    සුන්දර සංචාරක සටහනක්. ලස්සනයි යාලුවා. ෆොටෝස් දැක්කම ආස හිතෙනවා. ස්තුතියි මේ තොරතුරු බෙදා ගැත්තාට !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Chandana
      ඔය මාළු කතන්දරේ යන හැම ට්‍රිප් එකකදීම අනිවා අහන දෙයක් :D :D

      Delete

එක් කලාවූ අදහස් උදහස්