Thursday, March 28, 2013

අපුරු මග පෙන්වන්නා සමග අතරමං වුන අලුවිහාරේ කඳු තරණය

අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා චාරිකාව අවසන් වූ  පසුව නැවත වතාවක් ඒ  හා සමාන තවත්  සුන්දර  චාරිකාවක නිරත වීමේ බලාපොරොත්තුවෙන් අප පිරිස දෙවන වසරේ පළමු අදියරේ  අධ්‍යාපන කටයුතු වල නිරත වීමු.  ටික දිනක්  යත්ම  නැවතත්  චාරිකාවක්  සලකුණු පහල වුයේ රජිත ගේ අලුත්  චාරිකාව  සමගිනි 2010 වසරේ සැප්තැම්බර් මාසය පුරාම අපගේ විභාගයන් පැවැත්වුණු අතර එය අවසන් දිනයට පසු දින මෙවර  මාතලේ අලුවිහාරේ  කන්ද තරණය කිරීමේ චාරිකාව  යොදා ගන්නට යෙදුනි. සෑම සතියකම සඳුදා සහ සිකුරාදා දිනයන්හි සති 3ක් පුරා විභාගයන්ට මුහුණ දීමෙන් අප සියලු දෙනාම දැඩි  හෙම්බත්විමකට ලක්ව සිටියෙමු.  සැප්තැම්බර් 19 වැනිදා විභාග අවසන් කල අප පසුදිනට නියම කරගත් චාරිකාවේ කටයුතු වලට සුදානම් වීමු.

රිවෙර්ස්ටන් චාරිකාවට සහභාගිවූ කිහිප  දෙනකුට මේ සඳහා සහභාගී වීමට නොහැකි වූ අතර  සැලළිහිනියා  සමග රජිත , සමිත්,සංජිව, තරිඳු , ඩොකා , අතුල සහ විෂාන් ඒ සඳහා එක්වුනි. පසුගිය  රිවෙර්ස්ටන් චාරිකාවේදී  කුරුණෑගල සිට  මාතලේ දක්වා  යාමට කිහිපදෙනෙක්  සිටි නමුත් මෙවර කුරුණෑගලින් යාමට සිටියේ 
  සැලළිහිනියා  පමණි. එබැවින් මෙවර කුරුණෑගල සිට මාතලේ දක්වාම මෝටර් සයිකලයේ පිහිට ලබා ගන්නට  සැලළිහිනියා  සිතා ගත්තේ  කුරුණෑගල සහ  මාතලේ අතර බස් රථයක ගමන් කිරීම  නිකරුනේ කාලය කා දැමීමක් වන නිසාය.  එලෙසම සවස් වූ විට ආපසු   කුරුණෑගලට පැමිණීමට නිසි  සේවාවක්ද නොමැත. එවිට සිදුවන්නේ  මාතලේ සිට කටුගස්තොට වෙත ගමන් කර  මහනුවර කුරුණෑගල බස් රථයක පිහිට පතන්නටය.  එය  ඔලුව වටේ අත  යවමින්  කන  අල්ලනවා වැනි ක්‍රියාවකි.  සැප්තැම්බර් 20 වැනිදා දින උදේ පාන්දරම කුකුළා කිහිල්ලේ ගසාගත් සැලළිහිනියා මෝටර් සයිකලයේ පිහිට ලබාගෙන මාතලේ  බල පිටත් වුයේ  පළමු වතාවටය.  

නිවසේ සිට  මිනිත්තු 45 කින් කුරුණෑගල නගරයට  ළඟා  වූ අතර එතැන් සිට රිදීගම ඔස්සේ ඉබ්බාගමුව මාතලේ මාර්ගය වෙත  ගමන්  කලේද පළමු වතාවටය.  රිදීගම නගරය පසු කර මද දුරක් ගමන් කරන විට යම් වෙනසක් දැනෙන්නට වුයේ පාර වැරදුනා වැනි හැඟීමක් ඇති කරමිනි.තව මද දුරක්  ගමන් කලද බස් රථයක් හෝ ගමන් කරනවා  දකින්නට නොලැබුණි.  කිසිවක් අසා ගන්නට කවරෙකු හෝ නොමැත.  3km  පමණ දුරකද ගෙවා අවසන්ය. ඕන දෙයක් කියා  ආපසු  හරි  රිදීගම නගරයට ළඟ වෙමින් සිටියෙමි. එක්වරම මාර්ග සංඥා පුවරුවක මාතලේ  යනුවෙන් සඳහන් කර තිබුනේ නගරය මධ්‍යයෙහි වූ මාර්ගයය.  පළමු අවස්ථාවේ එය දකින්නට  තරම් පිනක්  සැලළිහිනියා  හට තිබුණි නම් පාර වැරැද්ද ගන්නට සිදු  නොවන්නේය. එය දිනයේ  සිදුවූ පළමු මග වැරදිමය.  සිදුවූ අකරතැබ්බයෙන් විනාඩි 20ක් පමණ ප්‍රමාදයකින්  අනතුරුව නැවතත් හැල්මේ ගමන් කලේ මාතලේ දක්වය.   

ඉබ්බාගමුව මාතලේ මාර්ගයේ  සුන්දර දසුන්