Thursday, March 28, 2013

අපුරු මග පෙන්වන්නා සමග අතරමං වුන අලුවිහාරේ කඳු තරණය

අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා චාරිකාව අවසන් වූ  පසුව නැවත වතාවක් ඒ  හා සමාන තවත්  සුන්දර  චාරිකාවක නිරත වීමේ බලාපොරොත්තුවෙන් අප පිරිස දෙවන වසරේ පළමු අදියරේ  අධ්‍යාපන කටයුතු වල නිරත වීමු.  ටික දිනක්  යත්ම  නැවතත්  චාරිකාවක්  සලකුණු පහල වුයේ රජිත ගේ අලුත්  චාරිකාව  සමගිනි 2010 වසරේ සැප්තැම්බර් මාසය පුරාම අපගේ විභාගයන් පැවැත්වුණු අතර එය අවසන් දිනයට පසු දින මෙවර  මාතලේ අලුවිහාරේ  කන්ද තරණය කිරීමේ චාරිකාව  යොදා ගන්නට යෙදුනි. සෑම සතියකම සඳුදා සහ සිකුරාදා දිනයන්හි සති 3ක් පුරා විභාගයන්ට මුහුණ දීමෙන් අප සියලු දෙනාම දැඩි  හෙම්බත්විමකට ලක්ව සිටියෙමු.  සැප්තැම්බර් 19 වැනිදා විභාග අවසන් කල අප පසුදිනට නියම කරගත් චාරිකාවේ කටයුතු වලට සුදානම් වීමු.

රිවෙර්ස්ටන් චාරිකාවට සහභාගිවූ කිහිප  දෙනකුට මේ සඳහා සහභාගී වීමට නොහැකි වූ අතර  සැලළිහිනියා  සමග රජිත , සමිත්,සංජිව, තරිඳු , ඩොකා , අතුල සහ විෂාන් ඒ සඳහා එක්වුනි. පසුගිය  රිවෙර්ස්ටන් චාරිකාවේදී  කුරුණෑගල සිට  මාතලේ දක්වා  යාමට කිහිපදෙනෙක්  සිටි නමුත් මෙවර කුරුණෑගලින් යාමට සිටියේ 
  සැලළිහිනියා  පමණි. එබැවින් මෙවර කුරුණෑගල සිට මාතලේ දක්වාම මෝටර් සයිකලයේ පිහිට ලබා ගන්නට  සැලළිහිනියා  සිතා ගත්තේ  කුරුණෑගල සහ  මාතලේ අතර බස් රථයක ගමන් කිරීම  නිකරුනේ කාලය කා දැමීමක් වන නිසාය.  එලෙසම සවස් වූ විට ආපසු   කුරුණෑගලට පැමිණීමට නිසි  සේවාවක්ද නොමැත. එවිට සිදුවන්නේ  මාතලේ සිට කටුගස්තොට වෙත ගමන් කර  මහනුවර කුරුණෑගල බස් රථයක පිහිට පතන්නටය.  එය  ඔලුව වටේ අත  යවමින්  කන  අල්ලනවා වැනි ක්‍රියාවකි.  සැප්තැම්බර් 20 වැනිදා දින උදේ පාන්දරම කුකුළා කිහිල්ලේ ගසාගත් සැලළිහිනියා මෝටර් සයිකලයේ පිහිට ලබාගෙන මාතලේ  බල පිටත් වුයේ  පළමු වතාවටය.  

නිවසේ සිට  මිනිත්තු 45 කින් කුරුණෑගල නගරයට  ළඟා  වූ අතර එතැන් සිට රිදීගම ඔස්සේ ඉබ්බාගමුව මාතලේ මාර්ගය වෙත  ගමන්  කලේද පළමු වතාවටය.  රිදීගම නගරය පසු කර මද දුරක් ගමන් කරන විට යම් වෙනසක් දැනෙන්නට වුයේ පාර වැරදුනා වැනි හැඟීමක් ඇති කරමිනි.තව මද දුරක්  ගමන් කලද බස් රථයක් හෝ ගමන් කරනවා  දකින්නට නොලැබුණි.  කිසිවක් අසා ගන්නට කවරෙකු හෝ නොමැත.  3km  පමණ දුරකද ගෙවා අවසන්ය. ඕන දෙයක් කියා  ආපසු  හරි  රිදීගම නගරයට ළඟ වෙමින් සිටියෙමි. එක්වරම මාර්ග සංඥා පුවරුවක මාතලේ  යනුවෙන් සඳහන් කර තිබුනේ නගරය මධ්‍යයෙහි වූ මාර්ගයය.  පළමු අවස්ථාවේ එය දකින්නට  තරම් පිනක්  සැලළිහිනියා  හට තිබුණි නම් පාර වැරැද්ද ගන්නට සිදු  නොවන්නේය. එය දිනයේ  සිදුවූ පළමු මග වැරදිමය.  සිදුවූ අකරතැබ්බයෙන් විනාඩි 20ක් පමණ ප්‍රමාදයකින්  අනතුරුව නැවතත් හැල්මේ ගමන් කලේ මාතලේ දක්වය.   

ඉබ්බාගමුව මාතලේ මාර්ගයේ  සුන්දර දසුන් 
ඉබ්බාගමුව මාතලේ මාර්ගයේ  සුන්දර දසුන් 
ඉබ්බාගමුව මාතලේ මාර්ගයේ S  හැඩයේ තියුණු වංගු 
පසුගිය වතාවේ රිවෙර්ස්ටන් බලා අප ගෙන ගිය අකීකරු මාතලීටත් වඩා  වේගයෙන්  මෝටර් සයිකලය ධාවනය කලේ මාර්ග සංඥා වල සඳහන් ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු  පවතින වංගු ගණනාවක් ඔස්සේ ඇදීගිය දැඩි කඳු සහිත වූ තරමක අබලන් මාර්ගයකය. කුරුණෑගල සිට පැයක් සහ විනාඩි 20ක් වන විට අලුවිහාරේ විශාන් සහෝදරයාගේ  නිවාස වෙත  ළඟා  වන්නට හැකිවිය.


බිහිසුණු යකුන් සහ  හොල්මන් සහ ලින්කින් පාර්ක්  ඇතුළු රොක් සංගීතයේ සියලු  ශිල්පින් යක්කුන් සහ මල පෙරේතයින් පිරිණු විශාන් සහෝදරයාගේ භයංකාර කාමරයේ මගේ බෑගය තබා විශාන් සහෝදරයා සමග මාතලේ  නගරය දක්වා මෝටර් සයිකලයේ ගමන් කලේ රජිත  ඇතුළු පිරිස අලුවිහාරේ පිහිටි විශාන් සහෝදරයාගේ නිවාස වෙත රැගෙන එන්නටය. සියලු දෙනාම පෙව 9.00 වන විට මාතලේ  නගරයට ළඟාවූ අතර අලුවිහාරේ වෙත නවතා ගමන්කර විශාන් ගේ  නිවස්නය  වෙත පැමිණ අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය පමණක්  රැගෙන අලුවිහාරේ  කඳු තරණය සඳහා පිටත් වීමු.  විශාන්ගේ  නිවාස අසලින් ඇදී යන මාවත ඔස්සේ නොයෙක්  ආකාරයේ වංගු පසු කරමින් අප  පිරිස ඉදිරියට ගමන් කළෙමු. 

අප පිරිස 
අලුවිහාරේ කන්ද 
අලුවිහාරේ කන්ද 

මුලදී තැනිතලාවක ගමන් කල අප  ක්‍රමයෙන් කඳු සහිත ප්‍රදේශයට ලඟා වීමු.  හාත්පස ක්‍රමයෙන්   දිස්වන්නට ගත්තේ අපුරු වටපිටාවක් අපට නිරාවරණය කරමිනි. ඇතින් පෙනෙන නකල්ස් කඳු පන්තීන්  හා බැඳුනු  නා නා ප්‍රකාර නම නොදත්  කඳු පනතින් සමග මාතලේ   නගරය හා  අවට ප්‍රදේශයන්ද  අලුවිහාරේ පන්සල් භූමියද ක්‍රමයෙන් දිස්වන්නට ආරම්භ විය. තියුණු නැග්මක පිහිටි මාර්ගයේ  කොන්ද වකුටු කරගෙන ගමන්   කිරීම නිසා  අපගේ  දිව ටයි පටියක් සේ එල්ලී  වැටෙන්නට ගත්තේ   තද පිපාසවක්ද ඇති කරමිනි. මාතලේ  ප්‍රදේශයේ  සුප්‍රකට හුණුගල් වැඩබිම් සමගින් පියගැටපෙළක්  සේ දිස්වන්නාවූ කඳු පන්තීන්  සොබා සෞන්දර්යයේ අලංකාරය කැපී පෙන්වන්නට සමත් විය. මෙවැනි සුන්දර වටපිටාවක් ඔස්සේ ගමන් කල අප  අලුවිහාරේ පන්සලේ  නව සමාධි පිළිම වහන්සේ වැඩසිටින ඉසව්ව වෙත ළඟා වීමු.

කඳු තරණයේ ආරම්භය 

මාතලේ සුප්‍රකට හුණුගල්  නිධි  සහ ඇතින් පෙනෙන නකල්ස් කඳු පන්තීන්  
අසීරු නැග්මක යෙදෙමින් 
දුෂ්කර මග ගෙවා  යමින් 
නව සමාධි පිළිම වහන්සේ 
මහනුවර යාපනය A 9 මාර්ගය අලුවිහාරේ නව සමාධි පිළිමය පිහිටි  ස්ථානයේ සිට

නව සමාධි පිළිම වහන්සේ 
අලුවිහාරේ පන්සල


නව සමාධි පිළිම වහන්සේ   පිහිටි භුමියේ   උඩ  මළුව   වෙත ගමන් කර මද වෙලාවක් නැවතී  සිටි අප  නැවතත් පහත මළුව  වෙත පැමිණ අපගේ  උදැසන අහර වෙලෙන්  සප්පායම්  වුනිමු.  අසල පිහිටි ස්භාවික ජල මාර්ගයෙන් අපට අවශ්‍ය  ජලය බෝතල්වලට  පුරවාගත් අප එතනින්   ඉහලට ගමන් කරේ අලුවිහාරේ කන්දේ ඉතිරි  කොටසේ  තරණය සඳහාය  ඉහලට  ඇදීගිය අඩි පාරේ  මද දුරක්  ගමන් කල අප සුපුරුදු ඇඩ්වෙන්චර්  ගමනේ නිරත වීම සඳහා වනගත  නව මාර්ග  ඔස්සේ  ඉහලට නැගීම ආරම්භ කළෙමු.  එළවලු  වගා  භුමි ඔස්සේ  වරෙක අඩියක් ඉහලට  සහ අඩි තුනක්  පමණ පහලටද වරෙක  බඩගාමින්ද  රූටා යමින්ද කඳු  තරණයේ  යෙදුනි. විශාන්  සහ ඩොකා ශරීර ප්‍රමාණයෙන් මදක්  විශාල හෙයින් අප යන වේගයෙන් කන්ද තරණය ඔවුනට ඔරොත්තු නොදෙන්නක් විය.

මද විවේකයක් 
කන්ද තරණය  කරගත නොහැකිව අතරමග විශාන්  සහ ඩොකා
දිනය පුරා අපට මග පෙන්වූ  පිළිම වහන්සේ 
වගා භූමියට තරමක හානියක් සිදු කරමින් අවසානයේ  කැළෑ බද මායිම වෙත  ගමන් කරමින් සිටි අප  නිරන්තරයෙන්ම බුදු පිළිමය පහත සිමාව  ලෙස තබා ගනිමින් කාලයේ  නව මං  ඔස්සේ  තව දුරටත් ඉහලට  ගමන් කිරීම සිටියෙමු. ගමන  සිතු  තරම්   ලෙහෙසි  වුයේ  නැත.  කටු පඳුරු, වැල්  ඔස්සේ  දුෂ්කර  කඳු   තරණයක නිරත වන්නට අපට සිදුවිය  හැකි සැමවිටම පහතින්  බුදු පිළිමය පෙනන ඉසව්වේ අප  ඉහලට ගමන් කරන්නට  උත්සහ කලේ  හදිසියේ  හෝ මග වැරදුනි නම්  ඒ ඔස්සේ  පහලට  ගමන්  කිරීමේ අටියෙනි. මේ  ආකාරයෙන් සැහෙන දුරක්  ඉහලට අප  ගමන් කරමින් සිටියද කන්දේ  මුදුනත තවත් පැමිණි හා සමාන  දුරකින් පිහිටි බව දකින්නට ලැබුණි. නැවත වරක් කුසගින්නක ලකුණු පහලවූ බැවින්  ගෙන ආ බිස්කට් සහ  බිම බෝතලේ පිහිටෙන් පුංචි බඩගින්න නිවා දැමුණි.
තව දුරටත් කඳු  තරඟයේ නිරත වූ  අපට හමුවියේ ඉතා තියුණු  නැග්මක් ඔස්සේ ඉහලට  ගමන් කරන්නටය.  විටෙක ඉදිරියේ යන්නා මග  විවර කරගැනීමට ඉවත් කරන අතු  කැබැල්ල පසු පසින්  යන්නාට  එල්ලකලේ දරුණු  ප්‍රහාරයන්ය. විටෙක  උරගයන්සේ  බඩ ගාන්නටද  තිබු  ස්ථාන වලින් අඩුවක්  නොවිය.... ඒ   අතරම අලුවිහාරේ කන්ද  පාමුල ජිවත්වන විශාන් සහෝදරයා  ගමනාරම්භයේදී කඳු මුදුනටම  යාමට මග පෙන්වන්නට පුළුවන් යයි කියුවද ටිකෙන් ටික  එය නොදන්නා බවක් අඟවමින් සිට  එක්වරම පැවසුවේ 

" අඩේ මම මෙච්චර දුර ඇවිල්ල නෑ මචන්ලා මමත් මේ  ආවාමයි  " 

මුගේ  කට කන්නට නොසිතුනා ම නොවේ. යන්තමින්  හෝ පහලට  හෙළක්  තිබුනේ නම් විශානයා කන්දෙන්  පහලට තල්ලු කර දමනවා නිසැකය.  කුමක් වුවත් කන්දේ මුදුනටම යාමේ අදිටනින් පසුවූ අප දේශ ගවේෂකයන් සේ  කන්ද ඔස්සේ  නොනවත්වා ගමනක යෙදුනෙමු. විටෙක විශාන්  සහ  ඩොකා  පෙනෙන්නට නැත. ඒ ඩබලට කඳු අදින්නට පළමු ගියරය වුවත්  ප්‍රමාණවත් නොවනු ඇත.  දිව ටයි පටියක් සේ එල්ල ගනිමින් මද වෙලාවකින්  ඔවුන් දෙදෙනා අප සමුහය  සමග  එකට ගමන්  කලද මිනිත්තු කීපයකින්  ඔවුන් හා  අප අතර පරතරය ටිකෙන් ටික වැඩි වන්නේ ඔවුනට අප හා සමාන වේගයකින් ඉහලට  යාමට  ඇති අපහසුව නිසාවෙන්ය. එනමුදු චරිත ඝාතන කතන්දර රාශියක් සහ පාලි සංස්කෘත ඇමතුම් රාශියකින්ද  එකිනෙකා ගේ මුවට  සිනහව    නගන්නද  ඒ  අතරම හැකි වුයෙන් ගමනේ  මහන්සිය මදකට අපෙන්  ඉවත්ව ගොස්  තිබුණි.

දුෂ්කර කඳු  තරඟයේ  විවිධ අවස්ථා 
දුෂ්කර කඳු  තරඟයේ  විවිධ අවස්ථා 
දුෂ්කර කඳු  තරඟයේ  විවිධ අවස්ථා 
දුෂ්කර කඳු  තරඟයේ  විවිධ අවස්ථා 
දුෂ්කර කඳු  තරඟයේ  විවිධ අවස්ථා 
කන්දේ සැලකිය යුතු ඉහලකට අප  පැමිණ සිටියෙමු. ළඟාවූ ඉසව්ව පැරණි රාජධානියක ඉතිරිවූ නටබුන් හා සමනය.  තැනින් තැන එක එක  ආකරගේ  ගල් ගුහාවන්ය   කටාරම් රහිත වුවත්  මහා වර්ෂාවකදී වුවද  ජලය ඇතුලට ගල  නොඑන තරම්  පිහිටුමකින්ද සමන්විත විය.  විවිධාකාරයේ ගල්ගුහා රාශියක් අප අවට විසිර  තිබුණි. කඳු  තරඟයද අමතක වී  ගල්ගුහා එකින් එකට  යමින්   ඒවායේ ඇතුලත පිහිටුම් නිරික්ෂනයද අනෙක වූ  නිගමනයන්  ඉදිරිපත් කරමින් නව  පුරාවිද්‍යා සොයා ගැනීම් රාශියක්ද සිදු කරමින් මත ඉදිරිපත් කොට අවසන්ය.  

එක   ගල්ගුහාවක ලිපක් සහ  අඟුරු ගොඩකි. අතුල පුරාවිද්‍යා පර්යේෂණයකය. ප්‍රාග් ඓතිහාසික යුගයන් ඉක්මවා ගිය  අර්ථකතන රාශියක්ය. බැරිවෙලාවත් ආදී මානවයින්ගේ  පොසිල අප අවට  පරිසරයේ තිබුණි නම්  ඒවාද තවත් පොලොව හාරාගෙන  යටටම යනවා නිසැකය.
අතුලගේ පුරාවිද්‍යා අර්ථකථනය
කුමක් කලද  පොළොවේ  යම් නන්නාදුනන ආදී සලකුණක් හෝ ඇත්දැයි විමසිලිමත් වුයේ බැරි වෙලාවත් එම ගල්ගුහාවේ අයිතිකාරයා  වලස් තඩියෙක්  හෝ  ව්‍යග්‍ර පවුලේ සාමජිකයෙකු හෝ වුයේ නම් වහ වහා ආරක්‍ෂිත උපක්‍රමයන් සොයාගන්නට  හාත්පස පීරා බලමින්ය.වාසනාවට වසුරු පිඩක්  හෝ එවැනි කිසිදු සලකුණක් හෝ නොමැති වුයෙන්  තවත් නව පුරාවිද්‍යා සොයාගැනීම් කිහිපයක් ඉදිරිපත් කර ගල්ගුහා තුල ඉඩ  නව වාසින් ඡායාරුප  සඳහා පෙළගැසෙන්නට විය.




නව සොයාගැනීම් රාශියක් අවසානයේ අපගේ  මුලික අරමුණ වූ අලුවිහාරේ කන්දේ මුදුනත බලායන ගමන නැවත ආරම්භ කළෙමු. නැවතත් තියුණු කඳු නැග්මක් ඔස්සේ   වෙහෙසකර ගමනකි.  සියල්ලන්ට හොදම ගණන්ය. උගුර  කටද වියලිය.  දිව ටයි පටියක් සේ එල්ලී තිබෙන්නේය .  මුලින් හමුවූ ගල්ගුහා ආශ්‍රිත ප්‍රදේශය හා සමාන තවත් ප්‍රදේශයක් නැවත අප පසු  කළෙමු. මේ වන විට අපගේ කැමරාවන්ගේ බැටරි මිය යාමට ආසන්නව සිටීම නිසා  ඡායාරුපකරණය මදකට සිමා කළෙමු.  කැමරාවන් ක්‍රියා විරහිත බැවින්  විශාන්ගේ   මුව  තුලින් පාලි සංස්කෘතික වදන් පිටවන්නට ආරම්භ විය. එනමුදු  මාගේ කැමරාවේ වීඩියෝ ක්‍රියාත්මක වීම ඔහු නොදැන සිටියේය. බඩුත් සමග  හොරු පටිගතව තිබුණි.

අනපේක්ෂිත වීඩියෝ පටිගතවිම 


නොනැවතී  ඉදිරියට යනමග එක්වරම  නිම කරන්නට වුයේ චීන මහා ප්‍රකාරය පරදවන දැවැන්ත අංශක 90 ක පමණ ආනතියක් වූ  කළු ගලක් අප යන මග  හරස් කර තිබීමය.  දෙපසම එකම  ආකාරයට පිහිටාය.  මෙවැනිම අවස්ථාවක් අප මිට පෙර යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව  තුලදී අත්වින්දෙමු.  එහිදී  වාසනාවකට හෝ  ඉහළට යාමට  මගක්  තිබුනද මෙවර අප   වාසනාවන්ත නොවීමු.  පහලට එල්ලී  තිබු දැවැන්ත මුලක් ඔස්සේ ඉහලට නැගුනු සැලළිහිනියා  සහ සමිත් උත්සාහ කලේ කෙසේ  හෝ  තවත් ඉහලට  යාමට  මාර්ගයක්  සොයා  ගන්නටය.  
ගමනේ අරමුණ නැවතූ  මහා ගල් කුල 
ගල්කුල ඔස්සේ යාමට  මගක්  සොයමින් 
අවසන් උත්සාහය 

සියලු  උත්සාහයන් ව්‍යර්ථ වන බවක් දකින්නට  ලැබුණි.   අපහසුවෙන් හෝ  හිත හදාගන්නට අප   තීරණය කළෙමු.  කන්ද  මුදුනට යාමට   මාර්ගයක්  තිබු බවත් එය අතහැර වනය තුලින් නව මාර්ගයකින් එය තරණය කරන්නට  ගත්  උත්සාහය අසාර්ථක බව අපට වැටහුණි. අප ගමනට බාධා කල  ගල් පර්වතය පාමුල ගිමන් හල අප නැවත පහලට  ගමන් කරන්නට  ආරම්භ කළෙමු.  කන්ද  ඉහලට  ආවාට වඩා වැඩි  වේගයෙන් පහලට  ගමන් කරමින් සිටියෙමු  ටිකෙන් ටික  නුපුරුදු ඉසව්වකට පිවිසෙමින් සිටින බවක් අපට වැටහුනේ  කන්ද  ඉහලට  යාමේදී අපට මග  හරස්කළ කළුගල් කුල හමුවන්නට පෙර අප පැමිණි මාර්ගයෙන් වමට හරි ගිය ස්ථානය මේ වනතුරු අපට  හමු නොවුන නිසාය. දැඩිව වැවුණු ගස් නිසා අපට  පහල  දක්නට නොලැබුණි. බුදුපිළිමය  තිබෙන ඉසව්ව  සොයා  තව දුරටත් පහලට ගමන් කළෙමු. 

මේ වන විට  අප සැබෑවටම අතරමංව සිටියෙමු. බියකරු  සිතුවිලි  රාශියක්ද  සිතට නැගෙන්නට විය.  උදව් ඉල්ලා   ඇමතුමක් හෝ ගන්නට  ජංගම දුරකථන ජාලයන්ද නැත. අහසින්  කවරෙකු හෝ ආවද අප සිටින ඉසව්ව   සොයගන්නටද නොහැකිය. ආසාවට හෝ අහස පැහැදිලිව   පෙනෙන්නටද නැත. සුවිශල් ශාක ස්ථරවලින් අහස  වසාගෙනය.  සියලුදෙනාගේම මුහුණුවල අවිනිශ්චිතභාවය පැහැදිලිවම  පෙනේනෙට තිබුණි. රාත්‍රියේ කඳු මුදුනේ  සිටින්නට වුවොතින් සිටින්නේ  කෙසේදැයි  සිතන්නටද විය.  ගෙවල්  වලට පණිවිඩයක් හෝ  දීමටද හැකියාවක් නැත. පිටට නොපෙන්නුවද සියලුදෙනාම සිත ඇතුලින් හඬා නොවටුනි නම් පුදුමයක්ය.. බියකරු සිතුවිලි ඔස්සේ තවදුරටත් පහලට  ගමන්කළේ අවට පෙනෙන ස්ථානයක් සොයමිනි. 

තවත් පහලට ගමන් කරන්නට ඉඩක්  ඉතිරිව  නොහැකිව තිබුණි  එනමුදු  ඇතින්  කඳු පහල යන්තමින් පෙනන  ස්ථානයක් දක්නට  ලැබුණි.   බුදු පිළිමය  තිබෙන්නේ  කොයි  ඉසව්වේදැයි දැනගනු රිසියෙන් අපහසු ගමනකින් එම  ස්ථානයට  ගමන් කළෙමු.  පහතින්  තැනිතලාව පෙනුනද  බුදු පිළිමයක හෝ සලකුණක්  නොමැත. එතන වූ ගසක අත්තක් මතට සමිත් නැගුනේ කුමනහෝ සලකුණක් දැකීමේ බලාපොරොත්තුවෙනි. මද දුරක් අත්ත ඔස්සේ ඉහලට   යත්ම බුදු පිලිමයේ  සිරස දර්ශනය වන බවත් එය අප සිටින ස්ථානයෙන් අංශක 45 ක් පමණ වමට වන්නට පිහිටි බවත් කියන්නට විය.  ගසින් බිමට  බැස්ස නොව පැන්නාය. 




දෙවරක් හමුවූ  ගස 
 හැකි උපරිම දිරිය ගෙන   දුෂ්කර මාර්ග  තැන  ගනිමින් නැවත බුදු පිළිමය තිබෙන ඉසව්වට ගමන් කරන්නට උත්සාහා දැරීමු.  එතනින් තව දුරටත්  පහලට යන්නට නොහැකි බැවින්  මදක් ඉහලට ගොස් නැවත   පහලට එනු අටියෙන් විනාඩි 20ක් පමණ කන්ද ඔස්සේ  ගමන් කලද  අපට  පහලට යන්නට මගක්  සාදාගන්නට නොහැකි විනි. මේ ආකාරයෙන්  ඉබාගාතේ ගමන් කල අපට නැවතත්  කන්ද  පහල දර්ශනය වන ස්ථානයක් දකින්න ලැබුණු බැවින්  වහ  එම ස්ථානය  කරා ගමන් කලේ බුදු පිළිමය තිබෙන ඉසව්ව  සිය  ගනන්නටය.  එතනට  ලංවත්ම  තරමක හුරු පුරුදු  බවක් අපට  හැඟෙන්නට වුවද එතරම්  ගණනකට නොගත්තේ පහලට  යාමට  මගක්  සොයා  ගැනීම අපේ  එකම අරමුණ වූ නිසාය. එතනද කලින් ආකාරයේම  ගහක පිහිටිමය.  එම  ආකාරයේම ගහෙ  අත්තක්ය. සමිත් නැවතත් එම  ගහට නගින්නට උත්සහ කර  එය  අතහැර අප දෙස  බල සිටින්නට වුයේ මුවගේ  සිනාවක්ද රඳවා ගනිමිනි. විනාඩි  20ක් පමණ  කන්ද ඔස්සේ   ඇවිද නැවතත් පැමිණ සිටින්නේ  කලින් සිටි ස්ථානයටමය.


සියල්ලන්ටම සිනහව  නවත්වා ගන්නට නොහැකිව සිටියෙමු. සියල්ලන්ගේම සිත්  ඇතුලින් බියකරු සිතුවිලි හොල්මන් කලද එය මදකට හෝ දුරු කරවන්නට මේ ඇබැද්දිය  සමත් විය. එයට  පහලින් විශාල ඉලුක් ගාලකි. එතනින් පහලට  බැසීම මාරයාට අතවැනිමකි. පොළොඟෙකුගේ ගඳක් යයි උපකල්පනය කළහැකි ගන්ධයක්ද අවට සිසාරා පැතිර යන්නට විය.  කුමක් වුවද පහලට යාම අත්‍යවශ්‍ය.  හාත්පස  විසිරුණු ගලකුලු ඔස්සේ තරණය  කරමින්   මිනිසෙකුට හෝ  කිසිවෙකුට  හෝ  යා නොහැකි ස්ථානයන් ඔස්සේ අසීරු ගමනක යමින් සමිත්  අතුල  සමග සැලළිහිනියා පහලය යාමට  මගක්  තනමින් ගස් වල අතරින්ද කඳු  පල්ලම් ඔස්සේද යමින් සැබෑම ඇඩ්වෙන්චර් අත්දැකීමක් විඳ ගත්තෙමු.  තරමක දුරකට මග විවර කොට  ඒ  දක්වා අනෙක් පිරිසද  ගෙන්වා ගත්තේ ගිරිය  පුප්පා කෑගසමිනි. ආසන්නයේ ගමන් කලද  අඩි  කීපයක  වෙනසින් එකිනෙක  නොපෙනී යන්නේය.  කැමරා සියල්ලම ක්‍රියා විරහිතය. ක්‍රියාත්මකව තිබුනද  ඡායාරුපකරණය  සියල්ලන්ටම අමතකය. 

මේ  ආකාරයෙන් දැඩි වෙහෙසක් ගෙන කලින් සිටි ස්ථානයෙන් වමට බරව අතිශය බියකරු සහ දුෂ්කර නිමක් නොවූ  ගමනක් නිරතව සිටි  අපට  දක්නට  ලැබුනේ මදක් ඔබ්බෙන් වාහනයකට ගමන්කළ හැකි ප්‍රමාණයේ වල්  වැදී ගිය පැරණි මාර්ගයකි,  සිතට යම් සහනයක් දැනෙන්ට පටන් ගත්තේ  මෙවිටය. මග ඔස්සේ  පහලට  ගමන් කරමින් සිටි  අප එළිමහන් ප්‍රදේශයකට ළඟා  වෙමින් සිටියෙමු 

ඇතින් පෙනෙන නකල්ස් කඳු පන්තින්  
කැමරාව  නිකමට ක්‍රියාත්මක කලෙමි .  යන්තම්  පන ආවේය. ඒ  පන එක ඡායාරුප යකට ප්‍රමානවත් විය. පහලින්  අලුවිහාරේ ගම්මානය දිස්වන්නේය, එනමුදු  බුදු පිළිමය  හෝ   පන්සල දකින්නට  නොමැත.  අවට සිසාරා නෙත් යොමු කලේ  එම  ස්ථානයන් දැකීමේ  අටියෙනි.   එවිට අප සිටි ස්ථානයෙන්  මීටර 50 ක් පමණ පහලින්  තරමක්  දකුණට බරව බුදු පිළිමය  දකින්නට ලැබුණි. සිතට  දැනුන  ප්‍රීතිය  මෙතෙකැයි කියා කිව නොහැකිය.  තරමක් ඉහලට වැවුන ඉලුක් ගාලක් ඔස්සේ  සොදගිය ආදී පාරක ලකුණු  දකින්නට  තිබුණි. එය  බුදු පිළිමය දෙසට විහිද ගිය අතර  ඒ ඔස්සේ  ගමන් කල අප  අවසානයේ ජීවිතය පුරා මතකයේ  රැඳෙන සිදුවීම් මාලාවකට මුහුණ දුන් වනගත චාරිකාවක අවසානය  වෙත ලඟා වූයෙමු. ඒ වන විට සවස 3.00ද  පසුවී තිබුණි.  නැවත  බුදු පිළිමය  පිහිටි ස්ථානය  කර  පැමිණි  වහාම පහත සිටම බුදු පිළිමය  වන්දනා කලේ එය නොවන්නට අපට  පහලට ඒමට කිසිදු සලකුණක් සොයා ගත  නොහැකි වන නිසාමය. අසල වූ දිය කඩිත්තකින් මුව දොවාගත් අප ඉතිරිව තිබු ආහාරයන්  ස්වල්පය ගිල දැමුවේ බියකරු සිදුවීම මාලාවක් ඔස්සේ ගත සිත සියල්ලම වෙහෙසින් පිරි  ඉතිරි තිබු අවස්ථාවකය.. කැමරාවේ බැටරි ගලවා  මද වෙලාවක් අව්වේ  තබා නැවත  ක්‍රියාත්මක කර ගත්තේ  චාරිකාවේ අවසන් අදියර හෝ ඡායාරුපගත කර ගන්නටය. 





ශරීරයේ අස්සක් මුල්ලක්  නෑර පැතිර තිබු  බියකරු සිතුවිලි සහ වෙහෙස මහන්සිය නිවෙන තුරු බුදු පිළිමය අසල රැඳුන  අප   ක්‍රමයෙන් කන්ද  පහලට  ගමන්  කර විශාන්ගේ  නිවාස කර  ලඟා වුයේ ශරීර කෘත්‍ය කටයුතු සඳහා පෝලිමේ අංකයන්ද  කල්තිය වෙන්කර ගනිමිනි. ඒ එන අතර තුරද අප අතරමං  කරවූ  කන්ද දර්ශනය වන ස්ථානයන්හි එහි ඡායාරුප ලබාගන්නටද අමතක  නොකළෙමු.  



නිවසට පැමිණි  වහාම විශාන්ගේ  මෑණියන්ගේ උණුසුම් තේ පන් සංග්‍රහය  බුක්ති විඳ  තවත්  වෙලාවක් සතුටු සාමිචියේ  දී  සවස 4.30 පමණ වන විට අප සියල්ලන්ම නැවත නිවෙස් බල පිටත් වන්නට සුදානම් වුයේ ගත සිත  කිලි පොලායන බියකරු  එහෙත්  සුන්දර වූ චාරිකාවක් අවසන්  කරමිනි.  

මහනුවර බල යන  බසයකට  රජිත , සමිත්,සංජිව, තරිඳු , ඩොකා , අතුල ගොඩ නැගුනු අතර සැලළිහිනියා  සිය මෝටර් සයිකලය  මාර්ග සංඥා වල සඳහන් ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු  පවතින වංගු ගණනාවක් ඔස්සේ ඇදීගිය දැඩි කඳු සහිත වූ තරමක අබලන් මාර්ගය ඔස්සේ  මුලදී  තරමක ආරක්ෂාකාරීව ධාවනය  කලද කඳු රහිත ප්‍රදේශ වලදී පෙර අවස්ථාවේ රිවෙර්ස්ටන් බලා අප ගෙන ගිය අකීකරු මාතලී පරදවන පවනට බඳු වේගයෙන්   ධාවනය කරමින් පලාපත්වල සිට රිදීගම  කුරුණෑගල හරහා රාත්‍රී 7.00 වන විට සිය නිවාස කරා  ළඟාවන්නට හැකි විනි.






21 comments:

  1. පිස්සු කොරනේ කොල්ලා. කොමද කට්ටිය කන්දේ අතරමන් උනා නම්. සිග්නලුත් නැහැ.
    දිගටම ලියපන් කොල්ල. ඊලගටත් ට්‍රිපක් ගිහින් ආවම අනිවා මේ වගේ පොස්ට් එකක් දාපන්. අයෙමත් සැරයක් ට්‍රිප ගිය වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආදිත්‍ය ඔබගේ අදහසට.
      ඔව් අනිවාර්යයෙන්ම.

      Delete
  2. ******මේ වන විට අප සැබෑවටම අතරමංව සිටියෙමු. බියකරු සිතුවිලි රාශියක්ද සිතල නැගෙන්නට විය. උදව් ඉල්ලා ඇමතුමක් හෝ ගන්නට ජංගම දුරකථන ජාලයන්ද නැත. අහසින් කවරෙකු හෝ ආවද අප සිටින ඉසව්ව සොයගන්නටද නොහැකිය. ආසාවට හෝ අහස පැහැදිලිව පෙනෙන්නටද නැත. සුවිශල් ශාක ස්ථරවලින් අහස වසාගෙනය. සියලුදෙනාගේම මුහුණුවල අවිනිශ්චිතභාවය පැහැදිලිවම පෙනේනෙට තිබුණි. රාත්‍රියේ කඳු මුදුනේ සිටින්නට වුවොතින් සිටින්නේ කෙසේදැයි සිතන්නටද විය. ගෙවල් වලට පණිවිඩයක් හෝ දීමටද හැකියාවක් නැත. පිටට නොපෙන්නුවද සියලුදෙනාම සිත ඇතුලින් හඬා නොවටුනි නම් පුදුමයක්ය.. බියකරු සිතුවිලි ඔස්සේ තවදුරටත් පහලට ගමන්කළේ අවට පෙනෙන ස්ථානයක් සොයමිනි. ****

    ela kiri machan. sirawatama seen eka liyala thiyanwa

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Chamara ඔබගේ අදහසට

      Delete
  3. මොකුත් කරදයක් නැතුව ආව හින්ද අපි fun එකේ හිටියට එදා කව්රු හරි එකෙක්ට අර පොළග ගැහුවා නම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා..කතාව කියවනකොට අපි අතරමන් වෙලා එත් එක පිළිගන්න කැමති නැතුව හිටිය හැටි මැවිලා පේනවා මචන්..මරේ මරු..ඒ දවස් වලට ආයෙමත් ගියා වගේ..වීඩියෝ එකත් දාපන්කෝ..(අර පාලි වචන ටික අයින් කරලා එහෙම)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සංජිව අතරමං වුන වෙලාවේ කව්රුවත් එක පිටට නොපෙන්නුවට හැමෝම ඇඬිල වගේ හිටියේ. වීඩියෝ එකත් දාන්නම්. එක පොඩ්ඩක් එඩිට් කරන්න ඕන.

      Delete
  4. මමත් නැගලා තියනවා.ඒත් නැග්ගේ පිළිමේ ලගට විතරයි.අයෙත් සැරයක තව උඩට නගින්ඩ ඕනේ.
    එල..... එල

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විශ්වජිත්... එතනින් උඩට තමා අසීරුම..
      අපිටත් කන්ද මුදුනටම නගින්න ආසාව තවම තියනවා. වෙලාවක් ලැබුනොත් ආයෙමත් උත්සාහයක් ගන්නවා

      Delete
  5. සංචාර ගැන පෝස්ටි කියවන්නෙ ගොඩක් ආසාවෙන් මලයෝ.ඒත් blog එක සංචාර වලට විතරක් සිමා කරන්න එපා කියලයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් අගය කරනවා tharaka narangoda අයියගේ උපදේශය..
      වෙනස් මාතෘකා කීපයක ලිපි ලියන්න පටන් ගත්තා. එත් මේ දවස් වල උපාධියේ අවසන් වසරේ අවසන් විභාගයන් සහ Final Research වැඩ තියනවා ඒවගේ වැඩ ටික ඉවර උනාම ඒ ලිපි පල කරන්නම්.

      ගොඩක්ම ස්තුතියි බ්ලොග් එකට පිවිසිලා අඩුපාඩු කියල දීල දිරිමත් කරනවට..

      Delete
    2. මමත් හිතනවා හැම පැත්තක්ම ආවරණය වෙන විදියට පොස්ට් දැම්මොත් හොදයි කියලා. සැලළිහිණියා උබට හොදට ලියන්න පුළුවන්.

      Delete
    3. ඔව් Rasika මම උත්සාහ කරන්නම්. කිහිපයක් ලියමින් යනවා. විභාග වැඩ අවසන් කරලා පල කරන්නම්. ස්තුතියි....

      Delete
  6. අඩේ අර වීඩියෝ එකත් මරුනේ. සම්පුර්ණ එකම වීඩියෝ කරානම් නියමෙට තියෙයි.
    එළකිරි මචා දිගටම වැඩේ කරන් යමන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Rasika..
      ඕක අහම්බෙන් කරපු ඊටත් අහම්බෙන් සිදුවුන දෙයක් . බැටරි ටික පන යන්න ඔන්න මෙන්න තිබ්බ වෙලාවේ තමයි ඕක ගත්තේ..

      Delete
  7. ආපහු සැරයක් "අලුවිහරේ කන්ද" නැග්ගා වගේ දැනුනා... නියමයි අයියා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රජිත. ඒ දවස් වල ඉඩක් ලැබුන ගමන් අපි එක්ක මේ වගේ සංචාරයන් ලෑස්ති කරලා අපිව සහභාගී කර ගත්තට. අයෙමත් ඒ Lost Of Lost ඉවෙන්ට් එක පටන් ගමු.

      Delete
  8. ශහ් ලස්සන ගමන. කොච්චර අමාරුවෙන් වුනත් කන්දක් මුදුනට නාග ගත්තම අර වෙහෙස අමතක වෙනවා. නියමයි මචං..!

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි චන්දන, ගොඩක් වෙලාවට මේ පැත්තේ ඇවිත් දිරිමත් කරලා යන එකට...
      අනිවාර්යයෙන්ම කොච්චර අමාරුවෙන් වුනත් ගමනේ අරමුණු කරන ස්ථානයට ළඟා වුනාම මග දිගට තිබුණු මහන්සි ඔක්කොම අමතකයි.
      එත් අලුවිහාරේ කන්දේදී අපිට මුදුනටම යන්න නම් බැරි උනා

      Delete
  9. ඇත්තටම මේ පාර ඉබ්බාගමුව මාතලේ නොව තල්ගොඩපිටිය - ගොලැහෙන්වත්ත (B409 මාර්ගය) විය යුතුයි. නමුත් වැඩි දෙනෙක් නොදන්නවා නිසා ඉබ්බාගමුව - මාතලේ කියන එක සාධාරණයි කියන්න පුළුවන්.
    දොඩන්ගස්ලන්ද පසු කළාම කඳුම තමයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Nirmala Madushani නිවැරදි කිරීමට.
      මටත් ඒ ගැන පැහැදිලි අදහසක් තිබුනේ නැහැ.
      පලාපත්වල ඉදන් කිලෝමීටර කීපයක් ඇතුළත මාර්ගය දෙකට බෙදෙන ස්ථානයක් මතකයි. එකක් කුරුණෑගල දෙසටත් අනෙක ගලේවෙල වෙන්න දෙසට වෙන්න ඕන.
      මදුරාගොඩ නගරයෙන් පස්සේ නම් ඕනෑම නැහැ කඳු ඔස්සේ පටු පාර.

      Delete

එක් කලාවූ අදහස් උදහස්