Tuesday, April 9, 2013

අවසරයි නිවන් මග වෙත යන්නට ආදර මලනුවනි

ජීවිතය  වෙලාවකට මහා පුදුමාකාර සිදුවීම් රාශියක් ඔස්සේ ගලා යන්නේ වාසනාව, අවාසනාව, හිමිවීම්, අහිමි වීම් රාශියක් නිරන්තරයෙන් ජිවිත ගමනට ලබාදෙමින්. සමහර සිදුවීම් වලින් ජිවිතයට  කොයි තරම් බලපෑම් කරනවද කියතොත් ඒ දේවල් අපේ ජිවිත කාලය පුරාවටම මතකයේ රැඳෙමින් දුක් හෝ සතුට නිරන්තරයෙන්ම මනස තුල රැඳී පවතිනවා....  සතුට  කියන දේ කොයි තරම්  මිහිරි මතකයක් වුවත් දුක කියන දේ නම් මතකයේ තැන්පත් වූ කලෙක එය ජීවිතය පුරාවටම අමිහිරි අත්දැකීමක් වෙනවා. තමන්ගේම කෙනෙක් හදිසියේ සදාකාලිකව වෙන්ව යාම කොතරම් උත්සාහ කලත් අමතක කරන්න බැරි සිදුවීමක් වෙනවා.  එක අම්මගේ කුසින් ඉපද වැලිකෙලියේ  පටන් වසර ගණනාවක් තිස්සේ දීවි කතර ගෙවා විත්  නොසිතු මොහොතක සහෝදරයෙකුගේ වෙන්ව කෙලෙසකින්වත් දරා  ගන්න අපහසුයි. එවන්වූ වේදනාත්මක සිදුවීමකට මිට වසර 8 කට පෙර අද වැනි දිනෙක මටත්, මගේ පවුලේ සාමාජිකයින්ටත්  මුහුණ දෙන්නට සිදු වුයේ එක්තරා පුරුවේ කළාවූ අකුසලයක අනිටුපලයක් දැයි විටෙක මට සිතේ..

වසර 1989 අප්‍රේල් මස 22 දින මගේ එකම සහෝදරයා වී ඔහු උපන්නේ  වෘත්තියෙන් හෙද නිලධාරිනියක වූ අම්මාත්, වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යයවරයෙකු වූ තාත්තාත්  ඒ කාලයේ රටේ පැවැති  දරුණු භීෂණ  කාලයේ දහසකුත් කරදර බාධක අප පවුලේ සාමාජිකයින් අත්විඳිනා කාලයක බැව් පසු කලෙක අම්මා පවසා සිටියේය. ඒ  වනවිට මා හට අවුරුදු 3 1/2ක් පමණ වන්නට ඇත.


මලණුවන්ගේ සහ මාගේ කුඩා අවදියේ   මතකයන් ඒ තරම් සිතේ  තැන්පත් නොවුවද  ඔහු උපන් දිනය සහ ඒ ආශ්‍රිත සමහර සිදු වීම් කිහිපයක් මතකයේ රැඳී පවතී. මල්ලිගේ උපත සැබවින්ම අප පවුලට වාසනාව ලඟා කරා   යයි කිවතොත් නිවැරදිය. ඒ වාසනාව ඔස්සේ කාලය ගෙවී ගියේ  ටික කාලයකි.උපතින් සය මසක් ගත වත්ම මල්ලි එක වරම අසනීප වන්නට ගත්තේ  කිසිවක් සිත ගන්නට ඉඩක් නොතබමිනි. උපතේදී නිරෝගී දරුවෙකු ලෙස අභිසෙක් ලැබ  රෝහලින් පිටව එනතුරාවට හෝ මාස 06 ක් ගතවන තුරු කිසිදු වෙනසක්  නොපෙන්වූ ඔහු හදිසියේම වළිප්පුව සැදීම වටහා ගත නොහැකි කරුණක් විය.. එතැන් සිට දින  සති මාස ගණන් ගත වුයේ අම්මාත් තාත්තාත් ඔහු සමග රෝහල් සුප්‍රකට වෛද්‍යවරුන් සොයා යමින්  කුමක් අරබයා ඔහු අසනීප වන්නේදැයි සොයන්නටය. විටෙක හිතක් පපුවක් නැති සමහර වෛද්‍යවරුන්ගේ දෝෂාරෝපණ වලට ලක් වන්නට සිදුව තිබුණි. එක්තරා සුප්‍රකට වෛද්‍යවරියක් විසින්

"ඔය ළමය අරන් යන්න අවූරුද්දක්වත් ජිවත් වෙන්නේ නෑ. කරදර  කරන් නැතුව අරන් යන්න "


පැවසු බව පවා පසු කාලයකදී  දැනගන්නට ලැබුණි.  ඊටත් වසර 8 කට පමණ පසුව  ඔහුව පරීක්ෂණයක් සඳහා රැ ගෙන  ගිය කලෙක එම වදන පැවසු වෛද්‍යතුමිය  ටම ඔහුගේ පරික්ෂාව සිදු කරන්නට සිදු වීම එක්තරා ආකාරයකට ඇගේ  නොසැලිකිලිමත් සහ අකාරුණික භාවය සදහටම යටපත් කරන්නට සමත්වූ බවද දන ගන්නට ලැබුණි. මලනුවන්ගේ ජීවිතය පිළිඹඳ බලාපොරොත්තුවක් නැති වුවද මගේ දෙමාපියන් නිරන්තරයෙන් උත්සාහා  ගත්තේ කෙලෙසක හෝ  ඔහු සුවපත් කර ගන්නටය. ලංකාව තුල  නොගිය රෝහලක්  නැති තරම්ය.  සුප්‍රසිද්ධ සියලුම වෛද්‍යවරුන්ගේ  පරීක්ෂණයන්ට ඔහු ලක්ව ඇත්තේය. නොගිය දේවාලයක් පන්සලක් නොමැතිය. මේ කාලය තුලදී කුලියාපිටිය මුලික රෝහලේ ළමා රෝග පිළිඹඳ වෛද්‍යවතුමන් අපට හමුවන්නේ මලනුවන්ගේ සේම අපගේ වාසනාවටය. සැබෑම වෛද්‍යවරයෙකු  වූ එතුමාණන් සුප්‍රකට යක්කල වික්‍රමාරච්චි  වෛද්‍යතුමන්ගේ සහෝදරයාගේ පුතණුවන්ය. එතුමාණන් මගේ මලනුවන්ට ලොකු අප්පච් චි වූ බව කිව යුතුමය. නිරන්තරයෙන්ම කුලියාපිටිය මුලික රෝහලේ නේවාසිකව සිටි මගේ මලනුවන්ගේ සියලුම බාහිර ප්‍රතිකාර සඳහා  වික්‍රමාරච්චි  වෛද්‍යතුමන් දායක වූයේ කිසිදු මුදලක් හෝ  බලාපොරොත්තුවෙන් නොවේ. ඔහුගේ කැබ් රථයෙන් කොළඹ ඇතුළු සියලුම රෝහල් කරා යාමට ඉඩ කඩ ලබා දී තිබු අතර හැකි සෑම විටම ඔහුද ඒ සමග පැමිණියේ කෙසේ හෝ  රෝගය කුමක්දැයි සොයා  ගන්නටය. මේ ආකාරයෙන් ලැබූ සත්කාර අවුරුද්දක් ජිවත් වන්නේ නැති පැවසුවද ඔහුගේ ජීවිතය වසර 16ක් දක්වා ඇදී යන්නට වාසනාව හිමි විය..  

දිනෙන් දින මාස ගණනින් කාලය ගතවුයේ මල්ලි සමග අම්මා සහ තාත්තා  කුලියාපිටිය හෝ කොළඹ මහා රෝහල් හි නිරන්තරයෙන් රැඳී සිටිමින්ය. එසේ වුවද ඔහුගේ රෝගී තත්වය කුමක්ද යන්න නිශ්චිතව සොයාගන්නට  නොහැකි විය. මුලදී නිරන්තරයෙන් අසනීප වුවද මද කාලයක් ගතවත්ම එය මදක් සමනය වූ බවක් දක්නට ලැබුණි. CT Scan කීපයක් අවසානයේ රෝගී තත්වයට හේතුව ලෙස කුඩා මොලයේ යම් ඇඹරීම් තත්වයක් සහ එහි දියර රැඳී තිබීම හේතුවෙන් නිරන්තරයෙන් ඔහුට වලිප්පු තත්වය ඇතිවන බවක් සොයා ගන්නා විට   මේ කාලය තුල ඔහු වෙනුවෙන් ලක්ෂ 10 කට අධික මුදලක් වැයව තිබුණි. එම තත්වය සම්පුර්ණයෙන්ම සුවපත් කරගන්නට නොහැකි බවත් තාවකාලික පාලනයක් බලාපොරොත්තු විය හැකි  බවත් වෛද්‍ය නිගමනය විය.ඒ වෙනුවෙන් ටෙග්රිටෝල් නමැති ඖෂධය ඔහුගේ ජිවිත කාලය පුරාම ලබාදිය යුතු බවත් නිගමනය විය.  

මේ ආකාරයෙන්  6 වසරක් පමණ ගතවූ පසු නිරන්තරයෙන් රෝහල් ගතව සිටි ඔහු නිවසේ වැඩි කාලයක් රැඳී සිටින්නට විය. එය මා හට  ඔහුව නිරන්තරයෙන් නිවසේ දකින්නට ලැබුණු පළමු අවස්ථාව විය. නැතිනම් ගෙවුණු වසර කිපයටම මම ඔහු දැක ඇත්තේ  අවස්ථා සීමිත ගණනකි පමණි.   එනමුදු නිරන්තරයෙන් වැළඳුනු වළිප්පු තත්වය සමහර අවස්ථා වලදී අප බියපත් කරන්නටද සමත්විය. වයසේ ප්‍රමාණයෙන් 1/2ක් පමණ දරුවෙකුගේ බුද්ධි වර්ධනයක් ඔහු කෙරෙන් දක්නට ලැබුණි. අ  හෝ ගොළු හෝ බිහිරි බවක් නොවුයෙන් ඔහු සඳහා  විශේෂ අධ්‍යාපන ස්ථානයක් සෙවීමද අසීරු කටයුත්තක් වුයේය අවසානයේ මුතුගල පාසලේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා වෙන්වූ පන්තියට ඇතුලත් කර ගන්නට අවස්ථාව ලැබුණි. පාසලේ සියලු දෙනාගේම සිත් ඇදාගන්න්න චරිතයක් බවට පත්වෙමින් එහි යම් කාලයක් අධ්‍යාපනය ලබන්නට වරම හිමි වුවද හදිසියේ ඇතිවන්නා වූ දරුණු රෝගී තත්වය එයද කඩාකප්පල් කරන්නට සමත් විය.



අධි ක්‍රියාකාරිත්වයක් නිරන්තරයෙන් පෙන්වන බැවින් පාලනය නොවන තරමේ කෝපයක්ද ඒ  අවස්ථාවලදී    දරුණු ලෙස තමන්ටම පහරදෙන අවස්ථාවන්ද දක්නට ලැබුණි. විටෙක අපටද පහර කන්නට සිදු විය. ඒ හැරෙන්නට කවරෙකුට හෝ ඔහුගෙන් කරදරයක් හිරි හරයක් නොවූයේය. ඒ  අතර තුර කාලයේ අප පදිංචිවී සිටි නිවාස අවට අසල්වාසීන් මෙන්ම අපගේ නෑදෑයන් මල්ලිවත් මාවත් නිරන්තරයෙන් බලා ගනිමින් අම්මාටත් තත්තාටත් රාජකාරි කටයුතු වල නිරත වන්නට මහත්වූ උපකාරයක් සිදුකලේය.

විටෙක ඔහු අසාමාන්‍ය දක්ෂතා ඇති දරුවෙක් විය. විදුලි වේගයෙන් කැරකෙන විදුලි පංකාවකට   බෙඩ් ෂිට් එකක් විසිකර එය විදුලි පංකාවේ තටු අතර රැඳෙන්නට විසි කරන්නට  ඔහු සමත්ය. නිරන්තරයෙන් ඇදවුණු තටු සහිත පංකාවන් අප  නිවසට අරුමයක් නොවිණි.  බුද්ධ වන්දනා ගාථාවන්  රාශියක්ද නිවැරදි ආකාරයට නොවුනද ඔහුට ඇසුණු ආකාරයෙන් තාලයට උච්චාරණය සිදු කරන්නේය. රෝහලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබෙන තාප්පය අසල රැඳෙමින් පාරේ  යන අය හට "ටටා" කියමින් ඔහු ටටා මහත්තයා ලෙස ආමන්ත්‍රණය ලැබිය. නිරන්තරයෙන්  අප ඔහු කෙරේ දැඩි අවධානයෙන් සිටියද ඇසිල්ලකින්  ලබන කෙටි ඉඩකින් ඔහු අවස්ථා 03  කදී පමණ  නිවසින් ඉවත්ව මහා මාර්ගයට ගිය අවස්ථා 03 ක් මගේ මතකයේ රැඳී තිබුණි.  එක වරක්   දරුණු අනතුරක් නොවී බේරුනේ වාසනාවකයට, තවත් වරක් පාරදිගේ අවිදගොස් අසල්වාසීන් විසින් රැගෙන ආවේය.  එමෙන්ම  කවර හෝ  නිවසකට ගිය විට  ඔහුගේ ප්‍රධාන රාජකාරිය නිවසේ මේන් ස්විචයේ සිට සියලු ස්විචයන් දමමින් විදුලි ආලෝකය දල්විමය. හදිසියේ හෝ ඒවා  නොදල්වෙන්නේ නම් මෙන් ස්විචය හෝ ෆියුස් පරිපථ බලමින් ඒවා දල්වන්නටද  ඔහු සමත්ය. නොදන්නා අයගෙන් බැනුම් ඇසුවද බොහෝ දෙනෙක් ඔහු කෙරේ අපිරිමිත සෙනෙහසක් දැක්වු බවක් දකින්නට ලැබුණි. ඔහු නිසාවෙන්ම රජයේ රෝහලේ හෙද නිල නිවාසයේ වසර 2004 වන තුරුම වසර ගණනාවක් රැඳුනේ හදිසියේ හෝ අසනීප වුහොත් ඔහුව රෝහලට රැගෙන යාමේ  පහසුව තකාය.  ඒ  කාලය තුලදී වුවද ගණනය කර නොහැකි තරමේ වාර ගණනක් ඔහු අසනීපව රෝහල ගත කරන්නටද සිදු විය... 


2005 වර්ෂය වන විට  රෝගය පාලනය වූ බවක් දක්නට ලැබුණු අතර ඔහුගේ විශාල වෙනසක් දකින්නට ලැබුණු  කාලයක්ද විය. එහෙත් අසනීප වූ සමහර අවස්ථාවන් ජීවිතයත් මරණයත් අතර මහා සටනක් විය. එසේ වුවත් පැවතී තත්වය අනුව ඔහු සුවපත්  වීමේ ලක්ෂණද දක්නට ලැබුණි.  වසර 2004 මුල් මාස කීපය වන විට අපගේම නිවසක් කරා පැමිණියේද මෙම තත්වය සැලකිල්ලට ගනිමිනි. මහා මාර්ගය අසලම නිවාස පිහිටි නිසා නිරන්තරයෙන්ම දැඩිවූ අවධානයක් ඔහු කෙරේ  යොමු කරන්නට වුයේ හදිසියේ හෝ  ප්‍රධාන මාර්ගය වෙත දිව යන්නේ නම් දරුණු අනතුරකට  නිසැකවම මුහුණ දීමටය. මාර්ගය දෙපස වෙළන්දසල්හි දියළු දෙනාම වුවද නිරන්තරයෙන්ම ඔහු කෙරේ දැඩි අවධානය යොමු කර සිටි ආකාරයද දැක ගත හැකිවිය. නිල නිවසේ මෙන්ම අප  නිවසේද විදුලි පංකා සියල්ලම තටු ඇද කර තිබුණි. බල්බ රාශියක් බිඳ දැමුවේ කනා මුට්ටි බිඳින්නෙකු ලෙසිනි. නිවාස ඉදිරිපස වැඩ අවසන් නොවූ ජනෙල් පඩියක්  මත සිටිමින් මහ මග යන්නවුන් වෙත "ටටා " කීමේ පුරුද්ද නිරන්තරයෙන්ම පැවතිනි. අප විසින් සෑම අවස්ථාවන්හිම ඔහු  අමතන විට "මේ ඉන්නේ " යයි කියමින් ප්‍රති උත්තර ලැබුණි. එය සෑම විනාඩි 02 කට වරක්ම අම්මා හෝ තාත්තා හෝ මාගේ මුවින් ඔහුව ආමන්ත්‍රණය පුරුද්දක් විය.

එළඹියේ 2005 වසරේ අප්‍රේල් මාසයයි. ම විසින් අපොස උසස්පෙළ විභාගය සඳහා සුදානම් වෙමින් සිටියෙමි. වසර 2005 දී උසස්පෙළ විභාගය මැයි මාසයට දින නියමව තිබුණි. අප්‍රේල් මුල් සතිය යම් වෙනසක සලකුණු දකින්නට ලැබුණි. මල්ලි  විශාල ලෙස වෙනස් වෙමින් සුවපත් වූ ආකාරයක් පෙනෙන්නට විය. සිංහල අවුරුද්ද වෙනුවෙන් අවැසි භාණ්ඩ රාශියක්ද අම්මා  විසින්  එකතු කරේ එය කලකට පසු හොදින් සමරන්නටය.  නිවාස පවා හුණු පිරියම් කර අලුත් පෙනුමක් ලබා දී තිබුණි. නිවසට ජල පහසුකම්  තිබුනද නල ජල පහසුකම් නොතිබුණි. ඉඩමේ පිහිටි ලිඳ මගින් ජල පහසුකම් සපුරා ගත් අතර, ජල නල පද්දතිය සඳහා ජල පොම්පය සහ අවැසි භාණ්ඩ සියල්ලම් සුදානම්ය. නිවසේ  ළිඳෙන්  ජලය ඇද ගැනීමටද මල්ලිට හැකිවී තිබුණි. අපට ල ඔහු ජලය අපට ඇද  දුන් අවස්ථාවන්ද බොහෝමය. මැනවින් සකස්කර කපරාදු කිරීම් අවසන් කර තිබු ලිඳ ඇතුළතද පලංචි බැඳ තිබුනේ එතුලත කපරාරු කරන්නටය. ලෑලි දමා කුඩා ඉඩකින් බාල්දිය දමන්නට හැකිව තිබුණි. මේ වන විට මල්ලි නාන්නට භාවිතා කල කුඩා ප්ලාස්ටික් බාල්දිය ලිඳට වැටි තිබුණු නිසා එය නැවත ගොඩට ගන්නට අපහසුව තිබුනේ  දමා තිබු ලෑලි නිසා ඉඩකඩ අහුරා තිබුන නිසාවෙනි. උණ ලීයක් මගින් එය ගොඩ ගන්නට උත්සහා  කලද එයද ව්‍යර්ථ විය.


අප කරන දෙයක් බලාගෙන එය කිරීමේ පුරුද්දක්  ඔහු තුල පැවතීම නිසා ලිඳේ අලුත්වැඩියා කටයුතු පවා සිදු කලේ  ඔහුට නිවසේ පිටුපසට ඒමට නොහැකි ලෙස සකස් කරමින්ය.මේ වන විට නිවසේ පිටුපසින් අලුත් කාමරයක ගොඩ නැගීම ආරම්භ කර තිබුණි. වහලය සවි කරන්නට පමණක් ඉතිරිව තිබු බැවින් මල්ලිට උණ ලී ගන්නට නොහැකි වන ලෙස ඒවා දමා තිබුනේ  බිත්ති මතය. වරක් දෙවරක් ඔහු ඒවා ගන්නට උත්සහ කලද එය ව්‍යර්ථ වුයේ සම විටම එය අප දුටු නිසාය. මෙලෙස අප්‍රේල් 8 වන දිනද එළඹියේය.  මල්ලි තුලින් එදින විශාල වෙනසක් දිස්වූ බව මට වැටහුනේ ඊටත් ටික කාලයක් ගතවූ පසුවය.. වෙනදාට වඩා නිශ්ශබ්දතාවයක් ඔහු කෙරෙන් දිස්විණි. උදැසනඅලුතින් ඉදිකළ කොටසේ ජනේලය මතින් කුඩා ප්‍රමාණයේ ගඩොලක් එලියට විසි කර තිබුණි. එය එහා පැත්තේ තිබු මුට්ටියකට වැටී එහි සිදුරක් සැදී තිබු අතර වෙන කිසිදු හෝ පැලුමක්  හෝ ඉරි තලුමක් එහි නොවිණි. උණ ලීය  ගැනීමට කිහිප වරක් ඔහු උත්සහ කර තිබුනද එය  ඔහුට අපහසු විනි. සවස් වන විත අපගේ ඥාති අක්කා කෙනකු හා  විවාහ වීමට සිටි  අයියා කෙනෙකු   අප නිවසට ආවේ පසු දින අක්කා සමග  අවුරුදු සඳහා සාප්පු සවාරියේ  යාමටය. රාත්‍රියේ එක්වරම මල්ලි තදින්  කෝප වී අප සියලු දෙනාටම පාලනය කර ගන්නට  නොහැකි තරම් විය. තදින් ඔහුටම ඔහු විසින් පහර දී ගෙන තිබුණි. මමද ඔහුගෙන් පහර කෑ  අතර පෙරලා මගෙන්ද හොද පහරක් ලැබීම නිසා එය පාලනය විය..


පසු දිනට පහන්වූයේ අලුත් දවසක අලුත් සිතුවිලි සමගය. උදැසන ජලනල කාර්මික අයියා   නිවසට පැමිණියේ  දහවල වන විට  ඔහු ඒ සඳහා පැමිණෙන බවත් අවැසි සමහර උපාංග රැගෙන ඔහු එන බවත්ය. තාත්තා ද නිවසින් පිටත් වුයේ  ඔහුගේ  කටයුත්තක් සඳහාය...  පෙරදින ඔහු මගේ පොරවන ෂිට් එක වහලයට විසි කර තිබුණි. වහලයට නැගීමට ඇති  කම්මැලි කම නිසාම එය  පෙර දින ගන්නට උත්සහ නොකලද අද දින වැසිබර තත්වයක් ඇති වීමේ සලකුණු පෙන්වූ බැවින් එය ගැනීමට සුදානම් වීමි. ඒ අතර ඥාති අයියා විසින් ලබාදුන් මුදලින් කෙසෙල් මිලදී ගෙන ඒමට  අසල වූ වෙළඳසල වෙත ගොස් ආනමාලු කෙසෙල් ඇවරියක්ද රැගෙන  එන විට අම්මා ඉදිරිපස මිදුල පව්ත්‍ර කරමින් සිටි අතර  මල්ලි  ඊටත් එහායින් තිබු පුටු ආධාරකය මත ඉඳගෙන සිටිනවා දුටිමි. අයිය හට කෙසෙල් අවරිය ලබා දී  මමද විශාල ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක් රැගෙන නිවසේ ඉදිරියට ආවේ වහලයට  නගින්නටය. පෙරේතකමට කෙසෙල් ගෙඩියම කන්නට සිතුනත් කුමක් හෝ හේතුවක් නිසා ඉන් බාගයක් නිවාස කෙළවරක පුටුවේ නිසොල්මනින් බලාගත්තු ඇත බලා උන් මල්ලිට ලබා දුන් පසු ඔහු එය අනුභව කරන්නට විය. එය  ඔහු මේ ජිවිත කාලය තුල ගත අවසන් භෝජනය වුයේය. නිවසේ පිටි පසට ගොස් වහලය දිගේ  ඉදිරියට ආවේ වහලය මත තිබු බෙඩ්  ෂිට් එක බිමට දමන්නටය. අම්මාගෙන් ඉදල ඉල්ලගෙන වහලය  මත රැඳී තිබු  කොළ රොඩු බිමට දමා නැවත ඉදල පහලට දුන්නෙමි.


වෙනදා මේ ආකාරයෙන් මා වහලය මත සිටින විට  මල්ලිට එය විනෝදජනක අවස්ථාවක් විය. සමහර අවස්ථාවන්හි එලෙස බිමට දමා මා නැවත බිමට බසින්නට සුදානම් වනවිට 
 ෂිට් එක නැවත වහලයට විසි  කරන්නේය නැතිනම් මා දෙස බලමින්  උඩ පනිමින් කොක්හඬලා සිනාසෙන්නේය. අද ඒ කිසිවක්  දකින්නට නොලැබුණි. මටත් පුදුම හිතිණි  අම්ම පසුව පැවසු පරිදි  ඒ වන විටත් පුටුව මත බර කල්පනාවක ඔහු රැඳී සිටි බවක්ය. වහලය මත වූ සියලු දේ බිමට දමා මා නැවත වහලය් ඇමැතින් පිටු පසට ගමන් කලේ  බිමට බසින්නටය.  ඥාති අයියා ඉඩම කෙලවර වැසි කිලිය වෙත ගමන් කරමින්  සිටියේ ජලය පිරවූ විශාල ටැංකියක් කරමත තබාගෙනය. එකවරම උලුකැට 2ක් පයට තදවී   පුපුරා යන්නට වුයෙන් ඒවා මාරු කර පිටු පසින් බිමට බසින්නට සුදානම් වනවිට ඉදිරි පස සිට නිවාස වටෙන්  අම්මා මල්ලිගේ  නම කියමින් පසු පසට දිව ආවේ කුමක් හෝ කරදරයක් පෙර නිමිති ඇයට දැනුනා වෙන්නට පිලිවෙනි. මමද  වේගයෙන් බිමට බැස පුළුවන් තරම්  හඬගා මල්ලි ඇමතුවද ප්‍රතිචාරයක් නැත.   


මල්ලිට  කුමක් හෝ සිදුව ඇති බවක් දැනෙන්නට  විය. බියකරු සිතුවිලි ජාලාවක්ද මැවෙන්නට විය. මේ සියල්ලටම මිනිත්තුවකට අඩු කාලයක් ගතවන්නට ඇත.ක්ෂණයෙන් ම දුටුවේ  බිත්තිය මත වූ උණ ලීය  නොමැති බවක්ය වහාම මම  ලිඳ කරා දිවගියෙමි. අවුරුද්දට පාවිච්චි කරන්නට පිඟන් කෝප්ප ලිඳේ  මිදුල මත  තබා තිබුනේ  සෝදා හරින්නටය.  ලිඳ තුලට එබුනා පමණි. උණ ලීය ලිඳ තුලය.  ලිඳ  බොරව තිබුණි. ලිඳ  එසේ  බොරවන්නට හේතුවක් නැත.  හැකි සෑම  ශක්තියම යොදා උදව් ඉල්ලා කෑ ගැසුවෙමි. ඉඩම කෙලවර වැසිකිලියේ සිට ඥාති අයියාද  දිව ආවේ විදුලියක් මෙනි. ආ සැනින්ම   බඹ 4 ක් පමණ වූ ලිඳට පැන්නේය. ඒ වන විට බඹ 2 1/2 ක් පමණ ජලයෙන් ලිඳ පිරි තිබුණි. ඒ  වන විට  මගේ හඬ ඇසි  අසල්වසින්ද දිව එන්නට විය. අයියා ලිඳ යට සිට  මල්ලි උසවාගෙන ජලයෙන්  මතු වී  උදව් ඉල්ලා කෑගසන හඬක් ඇසුනි. එවිටම මා  දුටුවේ මල්ලිගේ  බෙල්ල එක්වරම  කඩා හැලෙනවා පමණි. හිස ජලයෙන් ඉහලට සිටින සේ දැඩි ආයාසයකින්  තබාගෙන, ඊටත් වඩා ආයාසයකින් ඔහු ලිඳෙන් ඉවතට ගන්නට   කිහිප  දෙනෙක්ම වහ වහා ලිඳ වෙත පැමිණ  ලනු දමා දැඩි වෙහසකින් අනතුරුව  මල්ලිව ඉහලට රැගෙන අසල පිහිටි රෝහල කරා ඉගිලුනේ කේ සේ හෝ ජීවිතය බේරා ගන්නටය. තාත්තා ද මේ වනවිට නිවසට  ලඟා වුයේය.  

වහාම රෝහල වෙත ඔවුන් දිව ගියේ කෙසේ හෝ මල්ලිව බේරා  ගන්නටය. මෙයට පෙර   අනෙක් සෑම අවස්ථාවකදීම රෝහල කරා ගොස් ඔහු ආවේ සුවපත් විමෙන්ය. මෙවර නම්  ඔහු පරදා  මාරයා ජය ගත්තේය. වෙනද ඔහු රෝහලට රැගෙන ගිය  විටෙක මා හටද රෝහල කරා ගොස් ඔහු කැටිව එන්නට වාසනාව තිබුණු නමුත් මෙවර මට රෝහලටවත් යාමට නොහැකි විනි.  ඉතාම අපහසුවෙන් රෝහලේ දොරටුව වෙත ඇවිද ගිය ම නැවත ඉතා ඉක්මනින් නිවාස කරා රැගෙන ආවේ අදාල වාට්ටුව වෙත හෝ  මා හට යාමට  ඉඩ නොදිය.  වසර 16 ක් පුරා දැඩි රැකවරණයක් යොදා සොහොයුරාව ආරක්ෂා කර ගත්තේ  ජිවිතයේ සියලුම කටයුතු පසෙකලාය. එහෙත් ඒ සියලු බලාපොරොත්තුන් සුන්ව ගියේ  සිහිනයක් පරිද්දෙනි. 

16 වසරක් සිනාවෙන් මුව පිරි පවතී ඔහු  යලි නොඑන ලෙස  යන්නටම ගියේය. පශ්චාත් මරණ පරීක්ෂණය තුලින් අනාවරණය වුයේ පෙනහල්ල තුලට ජලය මේස හැන්දක  පමණ ප්‍රමාණයක් ඇතුලත්ව ශ්වසන පද්ධතිය අකර්මන්‍ය වීමෙන් ක්ෂණික මරණයකට ලක්ව ඇති බවත්ය.  ඒ හැර වෙන කිසිදු තුවාල හෝ තැලීම්  හෝ වෙනයම් කිසිදු සක කටයුතු යමක් සිදු නොවූ බවද තහවුරු කරගත හැකි විනි. උපකල්පනය කර පරිද්දෙන් ළිඳ තුල වූ ප්ලාස්ටික් බාල්දිය නිරන්තරයෙන් උඩට ගැනීමට ගත උත්සාහය ඊට පෙර ව්‍යර්ථ වුවත් අප සියලු දෙනාම නැති තත්පර ගණනක කාලයෙන් ඔහු බිත්තිය මත වූ උණ ලීය  රැගෙන ලිඳ වෙත එබී උණ ලීයෙන් ගන්නට උත්සහ කර ඇති නමුත් එතරම් දිග නොවූ උණ ලීය ළිං පඩිය මත සිට පහලට බර යොදමින්  සිටියදී හදිසියේ ඇතිවූ වලිප්පු තත්වය සමග ඔහු ලිඳ තුලට ඇදවැටී ති ආකාරයකි. ලිඳ මත්වූ පලංචි වෙත බසින්නට තරම් කාලයක්  තිබුනේද නැත.  

කෙසේ වුවද ඔහු ගෙන ආයුෂ ප්‍රමාණය ඉක්මවා යන්නට ඇත. ඔහු වෙනුවෙන් ජීවත්ව සිටින කාලයේ කලයුතු සියලු ප්‍රතිකාරයන් නොවරදවා සිදු කළෙමු. එලෙසම ඔහු විසින් පෙර ආත්මයන්හි   කළාවූ  යම් අකුසල කර්මයන් සියල්ලම් ගෙවී යන්නට ඇත.

පාසල කරා යන මම පාසල අවසන්වූ වහාම තිබෙන බස්රථයෙන් නිවාස කරා පැමිණියේ අම්මාටත් තාත්තාටත් රැකියාවේ කටයුතු සඳහා පිටත්ව යන්නටය. එතැන් පටන් නැවත ඔවුන් දෙදෙනා එනතුරු මල්ලිව රැක බලාගැනීම මගේ රාජකාරිය වුයේය. එයද මා නොපිරිහෙලා ඉටු කලෙමි.  සමහර අවස්ථවලදී ඔහු හා මා අතර ගැටුම ඇතිවුවද කිසිවක් දිගින් දිගට ඇදී නොයන්නේ ඔහු ඒ කිසිවක් දැනුම් තේරුම් ඇතිව නොකළ නිසාවෙනි.  ඔහුව පාලනය කරගන්නට සමහර අවස්ථාවන්හිදි පහර දෙන්නට සිදු වුවද අද එය මතක් වන විට මා හට ඉවසුම් නොදෙන්නක් වන්නේය. කෙසේ හෝ කාලය ගතවී ගියේ කාටත් හොරාය. අවසානයේ ඔහුද අප හැරදා යන්නට ගියේය.









ජීවත්ව සිටි 16 වසර තුරා  කුරා කුහුඹීයෙකුට හෝ   ඔහු අතින් වරදක්  සිදු නොවිණි. සිනහව පමණත් මතකයේ  රඳවා 2005 අප්‍රේල් මස 11 දින මළහිරු බස්නා යාමයේ සියල්ලම කඳුලේ හොවා මතකය සිනහව පමණක් ඉතිරි කර ඔහු යන්නටම ගියේය. නිරන්තරයෙන් සිදු කරන්නාවූ පින්දහම් ඔහුගේ ආත්මයට සැනසීමක් නිවන් මගට යන්නට සියලු පින් ලබාදුනි. එලෙසම  ලබා දෙන්නේය. ඉදිරියටත් එසේමය. එපින් බලෙන් මින් ඉදිරියට ඉපදෙන්නාවූ කිසිදු අත්බවෙක කිසිදු රෝග පීඩාවකට ලක්නොවී දීර්ඝායු විඳ අවසන අමාමහ නිවන කරා යන්නට ඔබට හේතු වාසනා වේවා !!!!!!






31 comments:

  1. පුදුම සංවේදී කතාවක් මචං..කියවල ඉවර වෙනකොට මට මොනාද කියන්නේ කියලා හිතා ගන්න බැරි වුනා.

    මල්ලි උපදින ආත්මයක් ආත්මයක් ගානේ මේවගේ අකල් මරණයකට ගොදුරු වෙන්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පැතුම් ඔබේ අදහසට සහ ප්‍රර්ථනාවට. මේ කතාව මෙහෙම හරි ලියාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. කොතරම් උත්සාහ කලත් අමතක කරන්න බැරි සිදුවීමක් ජීවිතය පුරාම.

      Delete
  2. වචන නෑ මචං. මල්ලිට නිවන් සුව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  3. ඇයි අහිංසකයින්ටම මෙහෙම වෙන්නෙ... ඒත් මේ ලෝකෙ කාටවත් වරදක් නැති අයට ආයුෂ අඩුයි.. ඒ අයට දුක් විඳින්න වෙනව අඩුයි.. වේදනා රහිත ඉක්මන්ව එයාල අවසන් ගමන් යනවා..

    හ්ම්ම්ම්/.... ඔහුට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත කතාව යසිත්. ගොඩක් ස්තුතියි.

      Delete
  4. මාරම අප්සෙට් මේ කතාව කියෙව්වම.ඇත්තටම මට මාර දුකක් දැනෙනවා බන්.දැන් දුක් වෙලා වැඩක් නැහැ මල්ලි අරන් ආපු ආයුෂ එච්චරයි වෙන්න ඇති.මල්ලිට නිවන් සුව පතනවා සහෝ ඒ වගේම ඔයාත් හොඳ සහෝදරයෙක්!

    ReplyDelete
    Replies
    1. මේ කතාව මම හිතුවේ නෑ මෙහෙම වත් ලියාගන්න පුළුවන් වෙයි කියලා. දවස් ගානක් ගියා හිත හදාගෙන ලියන්න.
      අගය කරනවා නිශාන් ඔබේ අදහස් දැක්වීම.

      Delete
  5. බොහෝම දුක්බර කතාවක්නේ යාළුවා මේක.මල්ලී ගෙනාව ආයුෂ එච්චරයි වෙන්න ඇති.ඔහුට නිවන් සුව අත්වේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තාරක සහෝදරයා. ඔබගේ අදහස් දැක්වීම සහ නිරන්තරයෙන් බ්ලොග් එකට දෙන සහයට.

      Delete
  6. ජීවිතයම දුකක් පුතා. මේ වගේ මරණ බොහෝම සංවේදියි...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම පොඩි කාලෙම නැති උනානම් ටිකක් හරි දරාගන්න පුළුවන්. එත් අවුරුදු 16 ක් තිස්සේ කරන්න පුළුවන් හැමදේම කරලා සනීප කරගන්න හදනකොට මෙහෙම නැති උන එක දරාගන්න නම් අමාරුයි.
      ස්තුතියි මාතලන්

      Delete
  7. අහෝ දෙවියනි මෙවන් දුකක්නම් වනේ වන හතුරෙකුටවත් කිසිදා නොවේවා... හරිම සංවේදී හද සසල කරවන කතාවක්.. මල්ලීට නිවන් සුව අත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චින්තක. අදහස් දැක්වීම සහ ඔබේ ප්‍රාර්ථනාවට.
      ඔබගේ ඒ ප්‍රාර්ථනාවත් ඔහුගේ නිවන් මගට ආශීර්වාදයක් වේවි.

      Delete
  8. මගෙ ඇස් දෙක තෙත් වුනේ උඹ උබෙ සහෝදරයට දක්වපු සහෝදරකමට...

    ජීවිතය ඇත්තටම දුකක්.

    හමුවීම්, වෙන්වීම්, සදාතනිකයි !

    ReplyDelete
    Replies
    1. හමුවීම්, වෙන්වීම්, සදාතනිකයි ! සත්‍යයි. එත් එක හිත පිළිගන්න සුදානම් නැහැ.
      ස්තුතියි සෑම් ....

      Delete
  9. සංවේදී සිද්ධියක්. ඒත් මේක තමයි ජීවිතේ ස්වභාවය මචං. ඔහු ගෙනා ආයුෂ එච්චරයි වෙන්න ඇති. උඹගේ සහෝදරයාට නිවන් සුව ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. කියන්න වචන නැහැ Chandana. ජිවිතයේ ස්වභාවය ඒක තමයි. ඒත් ඒක ලෙහෙසියෙන් අමතක වෙන්නේ නෑ.... ස්තුතියි නිරන්තරයෙන් දෙන සහයෝගයට.
      ඔයාල හැමෝගෙම අදහස් වල එකම ප්‍රාර්ථනාව ඔහුට නිවන් අවබෝධය.. ඒක එලෙසම ඉෂ්ට වෙයි...

      Delete
  10. ජීවත් වෙන කාලය පුරාවට බොහෝ සංවේදී සිද්ධීන් අපට හමුවෙනවා. අසන්න ලැබෙනවා. මේ තවත් එකක් පමණයි. කොහොම උනත්, නොදුටුවද, ඔබේ සහෝදරයාට නිවන් සුව ලැබේවා කියල අපි ප්‍රර්ථනා කරමු....

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි Nirmala Madushani ඔබගේ ප්‍රාර්ථනාවට....
      ඔයාල හැමෝගෙම අදහස් වල එකම ප්‍රාර්ථනාව ඔහුට නිවන් අවබෝධය.. ඒක එලෙසම ඉෂ්ට වෙයි...

      Delete
  11. ඉතාම කනගාටුයි සහෝදරයා.දැන් ඔහු යහපත් උප්පත්තියක් ලබලා ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අනිවාර්යෙන්ම එක එහෙම වෙන්නම් ඕන. මේ ආත්මයේ නම් ඔහු අතින් කාටවත් හිරිහැරයක් වත් උනේ නෑ.

      Delete
  12. මට තාම මතකයි සිද්ධිය...අපි දුවගෙන ආපු හැටි!

    ඉස්සර මතකද මම ආපුවම මට විහිළු කරනවා...

    ඇඩුනා එදානම්! :(

    ReplyDelete
    Replies
    1. පොඩි අයියට නිවන් සුව ලැබේවා!!!!

      Delete
    2. ඔව් රජා. සමහර දවස් වලට පොරට ටටා කිව්වේ නැති උනාම පොර අපිව ගනන් ගන්නේ නැතුව එහෙම හිටපු හැටි මතකයි නේද?
      හැමෝගෙම අදහස් වල එකම ප්‍රාර්ථනාව ඔහුට නිවන් අවබෝධය.. ඒක එලෙසම ඉෂ්ට වෙයි.....
      ස්තුතියි.

      Delete
  13. අංජුල සමරනායකTuesday, April 23, 2013 7:21:00 AM

    මට මේ බ්ලොග් එක දකින්න ලැබුනේ අහම්බෙන්. විශාල පොස්ට් ප්‍රමාණයක් නොමැති උනත් පල කරලා තියන ටික ක්‍රමයෙන් දියුණු වන ආකාරයක් දකිනවා. ඒ වගේම හිත ඇදාගන්නා සේම සංවේදී ආකාරයත් බෝහොම සාර්ථකව ඉදිරිපත් කරන්නට උත්සහ කරලා තියනවා. පොඩි පොඩි වචන වැරදීම් හැරෙන්නට සාර්ථක ගමනක් සැලළිහිණියා...
    මේ පොස්ට් එක නම් බොහොම සංවේදී කතාවක්. ඇතතටම කිව්වොත් ඔබ මේක ලියන්න දවස් ගානක් ගත්ත කිව්වා වගේ මමත් දවස් කීපයක් කඩින් කඩ කියෙව්වේ, වාවගන්න බැරි දුකක් දැනෙනවා මේක දකින හැම වෙලේකම මොනවා උනත් නොදුටුවද, ඔබේ සහෝදරයාට නිවන් සුව ලැබේවා කියල මමත් ප්‍රර්ථනා කරනවා

    මම අංජුල සමරනායක

    ReplyDelete
    Replies
    1. කියන්න වචන නැහැ අංජුල සමරනායක ඔබගේ අදහස් දැක්වීමට. අගය කරනවා අඩුපාඩු පෙන්වාදීමත්

      Delete
  14. මචන් ඇත්තටම සංවේදී සිද්ධියක්. උබ මේක ලියුවේ කොහොමද කියල මට හිත ගන්න බෑ. මල්ලිට නිවන් සුව ලැබේවා කියල මමත් ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔසුර...
      දවස් ගානක් ඔට්ටු උනා මේක ලියල ඉවරයක් කර ගන්න. අකුරක් අකුරක් ගානේ අඬ අඬ ලියල ඉවර කලේ....

      Delete
  15. ade meka nam kiyawanna be kollo

    ReplyDelete
  16. esata kandulak ekkarapu kathawak. eththatama sanwedi hadawathak thiyana kenekta daraganna amaruyi meka nam, mokak unath uba hebema manussakama thiyana ekek, kenekta katha mawanna puluwan, eth ewa hadawathinma enne awanka kenekta witharyi, uba e athin wishishtayi machan. budu saranayi.

    ReplyDelete

එක් කලාවූ අදහස් උදහස්