Monday, September 23, 2013

ලේ බිඳක් දන්දී මනුසත්කම රැකුමට දායක වූ ඔබ ...මිනිසුන් අතර උත්තරීතර මනුෂ්‍යයෙකු වේවා !!!

එදා මෙන් නොව අද සමාජය අතිශය විවිධාකාරය. සංකීර්ණය. එදවස පිනට දහමට ලැදිව කටයුතු කල මිනිසුන් අද  සමාජයේ  අපට නිතර හමු නොවේ. එහෙත් ඉඳහිට දවසක මිනිසත්කම ඉහවහා ගිය මිනිසුන් අපට  හමුවේ. ඇතැමුන් ජිවත් වන්නේ තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙනි. අන් ජිවිත බේරා ගන්නට තම ජීවිතය වුවද පුද දෙන්නට සුදානම් මිනිසුන් හමුවන්නේ  ඉතාම කලාතුරකිනි. එවන් විරල මිනිසුන් සමුහයකගේ එකතුවකින් සිදු කළාවූ උතුම් පුණ්‍ය කර්මයක්  වෙනුවෙන් මේ සටහන තබන්නට ලැබීමද මා ලැබූ භාග්‍යකි....

ජුනි  මාසයේ දිනෙක කරදර  බාධක දුක් කම්කටොලු මැද  ජීවිතය ගෙවී යද්දී  FacebooK  හි අපගේ NIBM කුරුණෑගල පිටුව තුල එක්තරා   විරල ගනයේ පින්කමක දැන්වීම දක්නට  ලැබුණි. NIBM කුරුණෑගල ආයතනයේ පළමු  කණ්ඩායමේ සිසුන් වුවද මේ වන විට අප අඳුනන සාමාජිකයින් සීමිත බැවින් ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසු විනි. ෂෆ්රාස් සර් විසින් පලකලවූ ලේ දන්දීමේ පිංකම පිළිඹඳ දැන්වීම දුටුවද ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසුව තිබුනද  දිනෙක හදිසියෙන්ම රවී සර් සමග කතාබහක  නිරත වී සිටියදී මේ පිලිඹඳ  පැහැදිලි විස්තරයක් දැනගන්නට ලැබිණි.

ලේ දන්දීමේ පිංකම වෙනුවෙන් සැකසුනු දැන්වීම් 

Thursday, September 19, 2013

සද්දන්තයින් සොයා පින්නවලට

පෙරවදනක්............

එළඹුණු වෙසක් මාසයෙන් අනතුරුව සැලළිහිනියා  හට උදාවුයේ  සුභදායි කාලයක්  නම්  නොවේ. උපාධියේ සියලුම දේශනයන්, විභාගයන් , පැවරුම් , ව්‍යපෘති සියල්ලම සාර්ථකව අවසන් කොට නිදහසේ හුස්ම පොදක් ගන්නට උත්සාහ කලද  එක පිට එක පිට  ආවාවූ  බාධක තුලින් ගොඩනගා ගත් ජීවිතය මදක් ආපස්සට  හරවා යවන්නට  තරම් ප්‍රබල වුයේය.

එම කාලයේ කිහිප අවස්ථාවකම නිවසේ අන්තර්ජාල සම්බන්ධතාවය ඇනහිටියේ  ප්‍රධාන මාර්ගය හරහා වැටි පවතින අප නිවසේ දුරකථන රැහැන් මාර්ගය මාර්ග  සංවර්ධන මහත්වරුන්ගේ අධිවේගී ක්‍රියා මාර්ග තුල අවස්ථා කිහිපයකදී විසන්ධි වීමෙන් 1212 අමතා නැවත සවි කරගන්නටය. මාසික බිල්පත ප්‍රමාදයක් වුයේ නම්  දුරකථන සම්බන්ධතාව විසන්ධි කරන්නට ප්‍රමාද  නොවන නමුත් අලුත්වැඩියා කටයුත්තකදී කිහිපවතාවක්ම දුරකථනයන්  ඔස්සේ කණ රත්වනතුරු 1212 අමතන්නට ලැබීමද එක්තරා අවාසනාවන්ත තත්වයකි...


නොයෙකුත් ආකාරයෙන්  එළඹුණු කරදර බාධක හමුවේ නිරවුල් මනසකින් යුක්තව සිටීමේ අවස්ථා අතිශය සීමිත විය. උපාධියේ වැඩකටයුතු හමාරකොට අවසන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියද අනපේක්ෂිත ආකාරයෙන් ප්‍රතිඵල නිකුතුව ප්‍රමාද වීමද සිතට ගෙන ආවේ දැඩි පිඩනයකි. අවසානයේ  දිගු කලක් මුළුල්ලේ දෑස් දල්වා බලාසිටි ජිවිතයේ සොඳුරු බලාපොරොත්තුව යථාර්තයක් බවට පත්කල තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිඹඳ උපාධිධාරියෙකු බවට පත්කලාවූ  උපාධියේ අවසන් විභාග ප්‍රතිපලය සතුටු කඳුලැලි ගලායන දෙනෙතින් දකින්නට තරම් මා වාසනාවන්ත  වීමි.....


වේදනාව තනිකම  දැඩිව දැනුනු  මෙම කාලයේ වෙනදා  මාසයකට කිහිපවරක් සැලළිහිණියා තුලින් ඔබ හමුවට ආවද අවසානයේ එයින්ද තාවකාලික සමුගැනීමක් සිදු කරන්නට  වීමි. ඒ කාලය  තුලදී නිරන්තරයෙන් මා  පිළිඹඳ අවධානයෙන් සිටි මගේ ජිවිතයේ හිතවත්ම මිතුරන් සොහොයුරන් කිහිප දෙනාට පින්සිදු වන්නට  නැවත වරක් නැගී සිටින්නට මට හැකි විනි. සැබෑ ලෙන්ගතු සොහොයුරන් සේම මිතුරන් වූ  ඔබ කිහිප දෙනාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි.



------------------๑۩۩๑ -- ๑۩۩๑ -- ๑۩۩๑------------------


මාස  කිහිපයකින් ශ්‍රී ලංකා මාතාවගේ සොඳුරු මංපෙත් සොයා යන චාරිකාවක නිරත වන්නට අවස්ථාවක නොලබා සිටියෙමි. තරංග සහ පිරිවර සමඟ යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව අවසන් වීමෙන් පසුව වසර ග ණනාවක්  මුළුල්ලේ නැවත එක්ව චාරිකාවක්  යන්නට පිඹුරුපත් සැකසුවද ඒ සියල්ල සිතුවිල්ලක්  පමණක් විය.අවසානයේ  කෙසේ හෝ තරංග විසින් මෝටර් සයිකලයක් මිලට ගැනීම තුල දුර ගමනක් කෙසේ වෙතත් ළඟ ගමනක හෝ නිරත  වීමේ බලාපොරොත්තුවකින් ඒ පිළිඹඳ  සාකච්චා කළෙමු.