Monday, September 23, 2013

ලේ බිඳක් දන්දී මනුසත්කම රැකුමට දායක වූ ඔබ ...මිනිසුන් අතර උත්තරීතර මනුෂ්‍යයෙකු වේවා !!!

එදා මෙන් නොව අද සමාජය අතිශය විවිධාකාරය. සංකීර්ණය. එදවස පිනට දහමට ලැදිව කටයුතු කල මිනිසුන් අද  සමාජයේ  අපට නිතර හමු නොවේ. එහෙත් ඉඳහිට දවසක මිනිසත්කම ඉහවහා ගිය මිනිසුන් අපට  හමුවේ. ඇතැමුන් ජිවත් වන්නේ තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙනි. අන් ජිවිත බේරා ගන්නට තම ජීවිතය වුවද පුද දෙන්නට සුදානම් මිනිසුන් හමුවන්නේ  ඉතාම කලාතුරකිනි. එවන් විරල මිනිසුන් සමුහයකගේ එකතුවකින් සිදු කළාවූ උතුම් පුණ්‍ය කර්මයක්  වෙනුවෙන් මේ සටහන තබන්නට ලැබීමද මා ලැබූ භාග්‍යකි....

ජුනි  මාසයේ දිනෙක කරදර  බාධක දුක් කම්කටොලු මැද  ජීවිතය ගෙවී යද්දී  FacebooK  හි අපගේ NIBM කුරුණෑගල පිටුව තුල එක්තරා   විරල ගනයේ පින්කමක දැන්වීම දක්නට  ලැබුණි. NIBM කුරුණෑගල ආයතනයේ පළමු  කණ්ඩායමේ සිසුන් වුවද මේ වන විට අප අඳුනන සාමාජිකයින් සීමිත බැවින් ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසු විනි. ෂෆ්රාස් සර් විසින් පලකලවූ ලේ දන්දීමේ පිංකම පිළිඹඳ දැන්වීම දුටුවද ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසුව තිබුනද  දිනෙක හදිසියෙන්ම රවී සර් සමග කතාබහක  නිරත වී සිටියදී මේ පිලිඹඳ  පැහැදිලි විස්තරයක් දැනගන්නට ලැබිණි.

ලේ දන්දීමේ පිංකම වෙනුවෙන් සැකසුනු දැන්වීම් 

Thursday, September 19, 2013

සද්දන්තයින් සොයා පින්නවලට

පෙරවදනක්............

එළඹුණු වෙසක් මාසයෙන් අනතුරුව සැලළිහිනියා  හට උදාවුයේ  සුභදායි කාලයක්  නම්  නොවේ. උපාධියේ සියලුම දේශනයන්, විභාගයන් , පැවරුම් , ව්‍යපෘති සියල්ලම සාර්ථකව අවසන් කොට නිදහසේ හුස්ම පොදක් ගන්නට උත්සාහ කලද  එක පිට එක පිට  ආවාවූ  බාධක තුලින් ගොඩනගා ගත් ජීවිතය මදක් ආපස්සට  හරවා යවන්නට  තරම් ප්‍රබල වුයේය.

එම කාලයේ කිහිප අවස්ථාවකම නිවසේ අන්තර්ජාල සම්බන්ධතාවය ඇනහිටියේ  ප්‍රධාන මාර්ගය හරහා වැටි පවතින අප නිවසේ දුරකථන රැහැන් මාර්ගය මාර්ග  සංවර්ධන මහත්වරුන්ගේ අධිවේගී ක්‍රියා මාර්ග තුල අවස්ථා කිහිපයකදී විසන්ධි වීමෙන් 1212 අමතා නැවත සවි කරගන්නටය. මාසික බිල්පත ප්‍රමාදයක් වුයේ නම්  දුරකථන සම්බන්ධතාව විසන්ධි කරන්නට ප්‍රමාද  නොවන නමුත් අලුත්වැඩියා කටයුත්තකදී කිහිපවතාවක්ම දුරකථනයන්  ඔස්සේ කණ රත්වනතුරු 1212 අමතන්නට ලැබීමද එක්තරා අවාසනාවන්ත තත්වයකි...


නොයෙකුත් ආකාරයෙන්  එළඹුණු කරදර බාධක හමුවේ නිරවුල් මනසකින් යුක්තව සිටීමේ අවස්ථා අතිශය සීමිත විය. උපාධියේ වැඩකටයුතු හමාරකොට අවසන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියද අනපේක්ෂිත ආකාරයෙන් ප්‍රතිඵල නිකුතුව ප්‍රමාද වීමද සිතට ගෙන ආවේ දැඩි පිඩනයකි. අවසානයේ  දිගු කලක් මුළුල්ලේ දෑස් දල්වා බලාසිටි ජිවිතයේ සොඳුරු බලාපොරොත්තුව යථාර්තයක් බවට පත්කල තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිඹඳ උපාධිධාරියෙකු බවට පත්කලාවූ  උපාධියේ අවසන් විභාග ප්‍රතිපලය සතුටු කඳුලැලි ගලායන දෙනෙතින් දකින්නට තරම් මා වාසනාවන්ත  වීමි.....


වේදනාව තනිකම  දැඩිව දැනුනු  මෙම කාලයේ වෙනදා  මාසයකට කිහිපවරක් සැලළිහිණියා තුලින් ඔබ හමුවට ආවද අවසානයේ එයින්ද තාවකාලික සමුගැනීමක් සිදු කරන්නට  වීමි. ඒ කාලය  තුලදී නිරන්තරයෙන් මා  පිළිඹඳ අවධානයෙන් සිටි මගේ ජිවිතයේ හිතවත්ම මිතුරන් සොහොයුරන් කිහිප දෙනාට පින්සිදු වන්නට  නැවත වරක් නැගී සිටින්නට මට හැකි විනි. සැබෑ ලෙන්ගතු සොහොයුරන් සේම මිතුරන් වූ  ඔබ කිහිප දෙනාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි.



------------------๑۩۩๑ -- ๑۩۩๑ -- ๑۩۩๑------------------


මාස  කිහිපයකින් ශ්‍රී ලංකා මාතාවගේ සොඳුරු මංපෙත් සොයා යන චාරිකාවක නිරත වන්නට අවස්ථාවක නොලබා සිටියෙමි. තරංග සහ පිරිවර සමඟ යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව අවසන් වීමෙන් පසුව වසර ග ණනාවක්  මුළුල්ලේ නැවත එක්ව චාරිකාවක්  යන්නට පිඹුරුපත් සැකසුවද ඒ සියල්ල සිතුවිල්ලක්  පමණක් විය.අවසානයේ  කෙසේ හෝ තරංග විසින් මෝටර් සයිකලයක් මිලට ගැනීම තුල දුර ගමනක් කෙසේ වෙතත් ළඟ ගමනක හෝ නිරත  වීමේ බලාපොරොත්තුවකින් ඒ පිළිඹඳ  සාකච්චා කළෙමු.

Thursday, May 23, 2013

ඔබ සැමට අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා





වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ  ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්, 
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!


Saturday, May 4, 2013

ඓතිහාසික සත්කෝරලයේ අතීත ශ්‍රී විභූතිය සොයා - පළමු දිගහැරුම



ඓතිහාසික සත්කෝරලය නො එසේනම් කුරුණෑගල දිස්ත්‍රීක්කය  දඹදෙණිය, යාපව්ව, කුරුණෑගල සහ පඬුවස්නුවර  සිංහලයේ රාජධානි 4 කින් යුතු සංස්කෘතික චතුරශ්‍රයකින් සමන්විත ලක්දිව එකම දිස්ත්‍රික්කයද වන්නේය. එවන් ඓතිහාසික පුරවරයක ගණනය කල නොහැකි තරමේ අප්‍රකට විහාරස්ථාන,නොයෙක් ආකාරයේ ඓතිහාසික නටඹුන් දක්නට ලැබෙනවා. අනුරාධපුර, පොළොන්නරු යුගවල සිට පැවතෙන විහාරස්ථාන ගණනාවක්ද තවමත් මේ ප්‍රදේශය අශ්‍රිතව දැකගන්නට පුළුවන්. එවන් අතීත උරුමයන් සොයා  පසුගිය දිනෙක අසල්වාසී අඩවි රජ සමඟ පර්යේෂණ චාරිකාවක නිරතවන්නට ම හට අවස්ථාවක් ලැබුනේ කාලයක් තිස්සේ ඇදී ඇදී ගිය නිවාඩු දිනයක් සොයා ගැනීමේ අපහසුතාවයෙන් මිදීමෙන් අනතුරුවය.

අප ජිවත්වන දඹදෙණි රාජධානියේ තවමත් අප නෙත නොගැටුණු අතීත උරුමයන් බොහොමයක් දක්නට ලැබෙනවා. හෙළයේ තුන් වන රාජධානියේ ජිවත් වුවද ළඟ ඇති දෑ නොබලා දුර ඇති දේ බලන්නට යාමෙන් සිදුවුයේ අප ජිවත්වන පරිසරයේ වටිනා 
ඓතිහාසික ස්ථානයන් පිළිඹඳ අප නොදැනුවත් වීමය. එම අඩුපාඩුව තරමකට හෝ මගහරවනු වස්  අපේ පළාතේ ඓතිහාසික උරුමයන් සොයා නිහඬ චාරිකාවක නිරත වීමු. එවන් ලිපි මාලාවක පළමුවැන්න මෙලෙසින් දිග හරින්නට අවසර........

රුක්මල්ගම ඓතිහාසික ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය

ඓතිහාසික දඹදෙණි රාජධානියේ නාරම්මල නගරයේ  සිට  මිගමුව මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරක් ගිය තැන හමුවන්නේ රන්මුතුගල ග්‍රාමයයි. එතැන් සිට වම් පසට වන්නට පිහිටි අඹගම්මන මාර්ගයේ කිලෝමීටර තුනක් පමණ ගමන්කලවිට  රුක්මල්ගම ඓතිහාසික ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය හමුවේ. 


Sunday, April 14, 2013

ඔබ සැමට, සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !



අතීතයෙන් ඉගෙන ගත්තා වූ පාඩම් මතකයේ දරා ගනිමින්,
වර්තමානයට ගැලපෙන අයුරින් දිවි ගෙවමින්, 
අනාගතයට යහපත් බලාපොරොත්තු පොදි බැදගත්  දිවියකට,

ලැබුවා වූ  අලුත් අවුරුද්ද... 
සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 



Tuesday, April 9, 2013

අවසරයි නිවන් මග වෙත යන්නට ආදර මලනුවනි

ජීවිතය  වෙලාවකට මහා පුදුමාකාර සිදුවීම් රාශියක් ඔස්සේ ගලා යන්නේ වාසනාව, අවාසනාව, හිමිවීම්, අහිමි වීම් රාශියක් නිරන්තරයෙන් ජිවිත ගමනට ලබාදෙමින්. සමහර සිදුවීම් වලින් ජිවිතයට  කොයි තරම් බලපෑම් කරනවද කියතොත් ඒ දේවල් අපේ ජිවිත කාලය පුරාවටම මතකයේ රැඳෙමින් දුක් හෝ සතුට නිරන්තරයෙන්ම මනස තුල රැඳී පවතිනවා....  සතුට  කියන දේ කොයි තරම්  මිහිරි මතකයක් වුවත් දුක කියන දේ නම් මතකයේ තැන්පත් වූ කලෙක එය ජීවිතය පුරාවටම අමිහිරි අත්දැකීමක් වෙනවා. තමන්ගේම කෙනෙක් හදිසියේ සදාකාලිකව වෙන්ව යාම කොතරම් උත්සාහ කලත් අමතක කරන්න බැරි සිදුවීමක් වෙනවා.  එක අම්මගේ කුසින් ඉපද වැලිකෙලියේ  පටන් වසර ගණනාවක් තිස්සේ දීවි කතර ගෙවා විත්  නොසිතු මොහොතක සහෝදරයෙකුගේ වෙන්ව කෙලෙසකින්වත් දරා  ගන්න අපහසුයි. එවන්වූ වේදනාත්මක සිදුවීමකට මිට වසර 8 කට පෙර අද වැනි දිනෙක මටත්, මගේ පවුලේ සාමාජිකයින්ටත්  මුහුණ දෙන්නට සිදු වුයේ එක්තරා පුරුවේ කළාවූ අකුසලයක අනිටුපලයක් දැයි විටෙක මට සිතේ..

වසර 1989 අප්‍රේල් මස 22 දින මගේ එකම සහෝදරයා වී ඔහු උපන්නේ  වෘත්තියෙන් හෙද නිලධාරිනියක වූ අම්මාත්, වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යයවරයෙකු වූ තාත්තාත්  ඒ කාලයේ රටේ පැවැති  දරුණු භීෂණ  කාලයේ දහසකුත් කරදර බාධක අප පවුලේ සාමාජිකයින් අත්විඳිනා කාලයක බැව් පසු කලෙක අම්මා පවසා සිටියේය .


Thursday, March 28, 2013

අපුරු මග පෙන්වන්නා සමග අතරමං වුන අලුවිහාරේ කඳු තරණය

අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා චාරිකාව අවසන් වූ  පසුව නැවත වතාවක් ඒ  හා සමාන තවත්  සුන්දර  චාරිකාවක නිරත වීමේ බලාපොරොත්තුවෙන් අප පිරිස දෙවන වසරේ පළමු අදියරේ  අධ්‍යාපන කටයුතු වල නිරත වීමු.  ටික දිනක්  යත්ම  නැවතත්  චාරිකාවක්  සලකුණු පහල වුයේ රජිත ගේ අලුත්  චාරිකාව  සමගිනි 2010 වසරේ සැප්තැම්බර් මාසය පුරාම අපගේ විභාගයන් පැවැත්වුණු අතර එය අවසන් දිනයට පසු දින මෙවර  මාතලේ අලුවිහාරේ  කන්ද තරණය කිරීමේ චාරිකාව  යොදා ගන්නට යෙදුනි. සෑම සතියකම සඳුදා සහ සිකුරාදා දිනයන්හි සති 3ක් පුරා විභාගයන්ට මුහුණ දීමෙන් අප සියලු දෙනාම දැඩි  හෙම්බත්විමකට ලක්ව සිටියෙමු.  සැප්තැම්බර් 19 වැනිදා විභාග අවසන් කල අප පසුදිනට නියම කරගත් චාරිකාවේ කටයුතු වලට සුදානම් වීමු.

රිවෙර්ස්ටන් චාරිකාවට සහභාගිවූ කිහිප  දෙනකුට මේ සඳහා සහභාගී වීමට නොහැකි වූ අතර  සැලළිහිනියා  සමග රජිත , සමිත්,සංජිව, තරිඳු , ඩොකා , අතුල සහ විෂාන් ඒ සඳහා එක්වුනි. පසුගිය  රිවෙර්ස්ටන් චාරිකාවේදී  කුරුණෑගල සිට  මාතලේ දක්වා  යාමට කිහිපදෙනෙක්  සිටි නමුත් මෙවර කුරුණෑගලින් යාමට සිටියේ 
  සැලළිහිනියා  පමණි. එබැවින් මෙවර කුරුණෑගල සිට මාතලේ දක්වාම මෝටර් සයිකලයේ පිහිට ලබා ගන්නට  සැලළිහිනියා  සිතා ගත්තේ  කුරුණෑගල සහ  මාතලේ අතර බස් රථයක ගමන් කිරීම  නිකරුනේ කාලය කා දැමීමක් වන නිසාය.  එලෙසම සවස් වූ විට ආපසු   කුරුණෑගලට පැමිණීමට නිසි  සේවාවක්ද නොමැත. එවිට සිදුවන්නේ  මාතලේ සිට කටුගස්තොට වෙත ගමන් කර  මහනුවර කුරුණෑගල බස් රථයක පිහිට පතන්නටය.  එය  ඔලුව වටේ අත  යවමින්  කන  අල්ලනවා වැනි ක්‍රියාවකි.  සැප්තැම්බර් 20 වැනිදා දින උදේ පාන්දරම කුකුළා කිහිල්ලේ ගසාගත් සැලළිහිනියා මෝටර් සයිකලයේ පිහිට ලබාගෙන මාතලේ  බල පිටත් වුයේ  පළමු වතාවටය.  

නිවසේ සිට  මිනිත්තු 45 කින් කුරුණෑගල නගරයට  ළඟා  වූ අතර එතැන් සිට රිදීගම ඔස්සේ ඉබ්බාගමුව මාතලේ මාර්ගය වෙත  ගමන්  කලේද පළමු වතාවටය.  රිදීගම නගරය පසු කර මද දුරක් ගමන් කරන විට යම් වෙනසක් දැනෙන්නට වුයේ පාර වැරදුනා වැනි හැඟීමක් ඇති කරමිනි.තව මද දුරක්  ගමන් කලද බස් රථයක් හෝ ගමන් කරනවා  දකින්නට නොලැබුණි.  කිසිවක් අසා ගන්නට කවරෙකු හෝ නොමැත.  3km  පමණ දුරකද ගෙවා අවසන්ය. ඕන දෙයක් කියා  ආපසු  හරි  රිදීගම නගරයට ළඟ වෙමින් සිටියෙමි. එක්වරම මාර්ග සංඥා පුවරුවක මාතලේ  යනුවෙන් සඳහන් කර තිබුනේ නගරය මධ්‍යයෙහි වූ මාර්ගයය.  පළමු අවස්ථාවේ එය දකින්නට  තරම් පිනක්  සැලළිහිනියා  හට තිබුණි නම් පාර වැරැද්ද ගන්නට සිදු  නොවන්නේය. එය දිනයේ  සිදුවූ පළමු මග වැරදිමය.  සිදුවූ අකරතැබ්බයෙන් විනාඩි 20ක් පමණ ප්‍රමාදයකින්  අනතුරුව නැවතත් හැල්මේ ගමන් කලේ මාතලේ දක්වය.   

ඉබ්බාගමුව මාතලේ මාර්ගයේ  සුන්දර දසුන් 

Monday, February 25, 2013

අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා - අවසන් කොටස

කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන්  ගලා ආ  දැවැන්ත සුළඟ අප  හිටි  තැනම  
නොසෙල්වා තබන්නට සමත්විය. හදිස්සියට අල්වා  ගන්නට  කිසිවක්ද නැත. සැබවින්ම අප මුහුණ  දුන්නේ ත්‍රාසජනක අවස්ථාවකටය.  විනාඩි  කිහිපයක්ම මේ  ආකාරයෙන්  නොසෙල්ව ගත කල අපට   සිතට යම් සහනයක් දැනෙන්නට ගත්තේ ගලා ආ දැවැන්ත සුළං  කඳ සහ  මිහිඳුම ක්‍රමයෙන්  පහව   යන්නට ගත්තයින්  පසුවය. ක්ෂණයෙන් අපගේ  පා ඉක්මනක් කල අප මාර්ගය ඔස්සේ   පහලට ගමන් කලේ නැවතත් ත්‍රාසජනක අවස්ථාව කට මුහුණ  දීමට ප්‍රථමයෙනි.  ඒ  යන අතරතුරද ආරක්ෂිතයි හැඟුණ ස්ථානයක නැවතී ඡායරූප ගන්නටද  අමතක නොකළෙමු.   ඒ හැම අවස්ථාවකම අප විමසිලිමත් වුයේ හමන සුළඟ පිළිඹඳවය. 






Thursday, February 21, 2013

ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..


කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ..

අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා.. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?

මේ Facebook එකේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා..

ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි.. එමෙන්ම පහත සඳහන් Facebook ගිණුම් ඔස්සේ ඔවුනට INBOX කිරීමෙන්ද ඔබට තව අවශ්‍ය විස්තර ඇත්නම් ලබාගත හැකියි..

Monday, February 18, 2013

අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා - පළමු කොටස

ඒ අපගේ NIBM   ජිවිතයේ ගෙවී යන  දෙවන වන වසරයි. 2010 ජුනි  මාසයේ දිනෙක දෙවන වසරේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර කාලයේ අපගේ  සහෝදර  රජිත  විසින්  එයට  සිය මිතුරන්  සමග නිරතවූ  විවිධාකාරී සංචාරයන් පිළිඹඳව  නොයෙක් විට දැක්වූ අදහස් අපටද එවැනි චාරිකාවක් යාමට දැඩි උනන්දුවක් ඇති  කරන්නක් වුණා.  සිය චාරිකාවන්හි අත්දැකීම් සහිත ඡායරූප  Facebook  හරහාද අප වෙත එවීම තුලින්  අවසානයේ තීරණය වුයේ  අප දෙවන වසරේ සිසු පිරිසක්  හැකි ඉක්මනින් චාරිකාවක නිරත විමටයි. දිනෙක දේශනයක් අවසානයේ 

රජිත " අයියා, අපි ට්‍රිප් එකක් යමුද එන Week  එකේ ?

සැලළිහිණියා " අහ්     ඒක කියන්න තමයි මල්ලි මමත් මේ  බලන්  හිටියේ, දවසක් සංජීවත්, සමිතුත්  කතා උනේ ඔය ගැන තමයි."

රජිත " එළකිරි අයියා,   එහෙනම් මම වැඩේ ලේස්ති කරන්නම්,  මේ සැරේ අපි රිවෙර්ස්ටන් යමුද?

රිවෙර්ස්ටන් ගැන  මිට කළින් අසා තිබුනද සැලළිහිණියා  කිසි විටෙක් එම  ප්‍රදේශයේ සංචාරය  කර  නොතිබුණි. එබැවින් 


සැලළිහිණියා "  නියමයි. මම  රිවෙර්ස්ටන් ගිහිල්ල නැහැ. එහෙනම්  මම OK "

රජිත" එතකොට සංජීව, සමිත් ? "

සැලළිහිණියා " මම කියන්නම් එයාලට ,  කොහොමත් එයාල  දෙන්න ok "

රජිත"  එළකිරි අයියා, එහෙනම්  නවරත්නල දෙන්නයි, තරින්දු මල්ලියි , අතුලයි  එන්නම් කිවා.  තව චරිත් , රසිත, දිනේෂ්  එක්ක එන්නම් කිව්වා"

සැලළිහිණියා " හරි  එහෙනම් "

ඒ වන විට Lab එකේ සිට සංජිව  සහ සමිත් අප සිටි දෙසට පැමිණෙමින් සිටි අතර,


රජිත" ආ  මේ  එන්නේ දෙන්නම ,  මොකද  දෙන්නා  කියන්නේ එන Week එකේ රිවෙර්ස්ටන් යමුද? "