Thursday, January 10, 2013

අනුරපුරයේ සංචාරය


නමෝ විත්තියෙන් ඇරඹුන 2013 වසරේ  සැලළිහිණියා ස්වකීය  නෙතින් දැකි සවනින් ඇසූ මතකයේ රැදි සටහන් මෙලෙසින් ඔබ හා බෙදා ගැනීම ආරම්භ කරන  වගයි......

"පුල් මල් කෙසරු මෙන් රන්වනි තෙලෙ සරණයුගසපුමල කැලෙව් තුඩ මඳ රතින මනහරනිලුපල් දෙලෙව් සම්වන පිය පිය පතරවලින් කළ රූඑව් එබැවින් නුබින් එනවරනිලූද ළඳ සිඳඹුවො දිගු වරලැ නිලූනිලූ ද වට බිගු පෙළ අද තඹරු නිලූවන දෙව් ලියෝ නො කෙළොද සවැන අබරණඑන මඟැ දුකෙක් නොවී ද සබඳනි කළණසන හස බැඳුණු තැන නොහරන කැරැ දියුණවෙන සැප කුමට තොප දකිනා එමැ පමණ....."

සැලළිහිණි සංදේශ කාව්‍ය  තුල  ඉහත ආකාරයෙන් සැලළිහිණියා  පිලිබදව වර්ණනා කොට ඇති අතර  මෙම  නාමය තොරා ගැනීමට  එයද විශේෂ වූ  හේතුවක් වූයේය.  එමෙන්ම තවත් සුවිශේෂී හේතුවක්  මෙම   නාමය තෝරාගන්නට  හේතුවක් වුයේය.  එය   පසුවට පවසන්නම්.. එසේනම් සැලළිහිණි  පුරාවත  මෙතකින් දිග හරිනට අවසරය........
☜(˚▽˚)☞  අනුරපුරයේ සංචාරය  ☜(˚▽˚)☞

කාලයක්  මුළුල්ලේ සැලළිහිණියා සිත තුල පැවති අදහසක් වන්නේ  මව් පාර්ශවයේ  නෑදෑ පිරිවර සමග වන්දනා ගමන්  යාමය. එයට වඩාත් තදින් හේතුවක් වුයේ සැළලිහිණි කොලුවාගේ  ලොකු  මාමණ්ඩිය සතුව හයිඑස් ෂෙල් වර්ගයේ සිව්රෝද රථයක්  නිකරුනේ  පුස් කන්නට තබාගෙන සිටීමය.




කලින් පාසල්  සේවා පැවැත්වුවද  පාඩු  ලැබීම හේතුවෙන් එය  නවත්වා  සිව්රෝද රථය නිකරුනේ  නිවසේ කල්  ගත  කරන්නට වීය. කෙසේහෝ දින ගණනාවක මාගේ ඉල්ලේම  පිලිබඳ යහපත් ප්‍රතිචාරයක් මවතුමියගෙන් සහ  පියාණන්ගෙන්  ලැබුන අතර සිව්රෝද රථය සුදානම්  කරගෙනීම  සදහා මව්තුමිය මාර්ගයෙන්  ලොකු මාමණ්ඩිය වෙත   සංදේශය ඉදිරිපත් කලෙමි.  වෘත්තියෙන් විදුහල්පති වරයෙකු වූ ලොකු මාමණ්ඩිය  තරමක  තද හිතක් ඇත්තෙක් වූ අතර මව්තුමිය විසින්  ඉදිරිපත් කල ඉල්ලීම කෙසේ හෝ  ඔහු අනුමත  කර  තිබුණි.

පළමු අදියර සාර්ථකය.දැන්  ඇත්තේ  අනිකුත්  වරිගයා හට  ආරාධනා කිරීමය. මව් පාර්ශවයේ සහෝදර සහෝදරියන් 7 දෙනෙකුගෙන් සමන්විතය. මාමා වරුන් සිව් දෙනෙක්  සහ  අම්මාවරුන් 3 දෙනෙක්  එයට ඇතුලත්ය.  ඒ තුල අක්කලා අයියලා නංගිලා මල්ලිලා  මදිවට දුවලා පුතාලාද එමටය . තවද නෑනලා   මස්සිනාලාද අඩුවක්  නැත. ලොකු මාමා දැන සුදානම්ය.  වැඩේ   තියෙන්නේ    පිරිවර රැස්කිරිමය. චාරිකාව  ගැන කියමින්  මාමලා ,ලොකු අම්මලා,  අයියලා, අක්කලා   වෙත ඇමතුම් ගන්නට පටන් ගත්තෙමි. එක එකා එක එක එක   කතන්දර කියයි.   අන්තිමට  ලොකු අම්මා , අයියා  සමග  චුටි අම්මා සහ  මහප්පා  යන්තම්   වැඩේට කැමති වුණේය.  රියදුරු  වශයෙන්  අපේම නැදෑයෙකු  වන රාජු අයිය  එක්වූයේය.   අවසානයේ   මගේ යාළුවෙකු වන  හරිඳු  මේ  සදහා සහභාගී වෙන්නට කැමත්ත දුන්නේය.දින  කීපයක දැවැන්ත මෙහෙයුමකින් පසු   වන්දනාව සදහා දින  නියම කර ගත්තෙමු. සෙනසුරාදා  දිනයක සියල්ල සුදානම්ය  රාජු අයියා   ලොකු මාමා ,චුටි අම්මා සහ  මහප්පා  රැගෙන  අප  නිවස්නයට  පැමින ඇත. වේලාව නියම කරේ  පෙ.ව 5.30 ටය. එනමුත්  හරිඳුවා තවම නැත. මම දුර ඇමතුමක් ගත්තෙමි .


මම - හරින්දුව   කොහෙද බන්?
හරිඳු - අයෙම් ඕන් ද  වේ  මචන් 
මම - ඕ කේ මචන් 

දැන්  පෙව 6.00 ද     පසුවී ඇත.  ඕන් ද  වේ   කියූ  හරිඳුවා  තවම  නැත. නැවත මම දුර ඇමතුමක් ගත්තෙමි.

මම - හරින්දුව   කොහෙද බන්?
හරිඳු - අයෙම් ඕන් ද  වේ  මචන්  
මම - යකෝ දැන්   6.00 උබට අපේ ගෙදරට දෙපාරක් එන්න වෙලාව  බන්

එහා පැත්තෙන්  ප්‍රතිචාර නැත.   ඇමතුමද  විසන්ඳි  විය   නැත්නම් විසන්ඳි කලා විය හැක.

කෙසේ හෝ පෙ:ව
6.15 වන  විට හරිඳු වා පැමිණ ගමන  ආරම්භ කෙලෙමු.ලොකු  අම්මාට අයියා සමග  පාදෙනියට පෙ:ව 6.30 වන විට   පැමිනෙන්න කියා තිබුණි.  වැඩේ පත්තු වෙන්න ගත්තේය. පෙ:ව  6.30 පසුවූවා   පමණි. අයියා  කෝල් සෙන්ටර්  එකක වැඩ කරන එකෙකු ලෙසින්  ඇමතුම් ගන්නට පටන් ගත්තේය.  අම්මාගෙත්  මගෙත්  තාත්තාගෙත්  දුරකථනයන්ට  නිදහසක්  නොවිය.  අපි  බොහොම අමාරුවෙන්,  

"දැන්  මේ  ළගදැන්  මේ  ළග බන්  හිටපන් එනවා"
යනුවෙන් පිළිතුරු දී  ජාමය  බේරාගෙන 7.15 වන විට  යන්තම්  පාදෙනියට ලගා වූයෙමු.  කනට මී පැණි වැක්කෙරෙන්න  වගේ කතා කීපයකට  පසුව ගමන ආරම්භ කර   යාමට  හැකිවුයේ  මීටර 500 ක් පමණය.  කුඩා ප්‍රමාණයේ  පාලමක්  ලග  රජු අයියා වාහනය  නතර  කොට මහා හඩින්  බඩගිනියෝ  බන්  උදේට කන්නේ නැද්ද??

වෙලක් අසබඩ   නිස්කලංක තැනක වාහනය   නවත්වා උදේ  ආහාරය ලෙස  පාන් කීවෙමු.


හොද  හැටි පාන්  කා   කුසගිනි නිවාගත් අපි  දැදුරු ඔය  පාලම පසුකර  දෙවියන්ට පඬුරු දමා අනුරාධපුරය බල පිටත් වීමු. පෙ:ව: 10.30 වන විට අපි අනුරාධපුරය  වෙත ලගා වීමු. අපේ ගමනේ මාර්ගෝපදේශකයා සෝමපාල මාමා සොයා අනුරාධපුර ගුවන්තොටුපොළ ආසන්නයට ගොස්  වාහනයට දමා ගෙන වන්දනා   ආරම්භ කළෙමු.

ප්‍රතාපවත් චරිතයකින් හෙබි ඇවිදින විශ්ව කෝෂයක් බදුවු   සෝමපාල මාමා අනුරාධපුර ඇසු පිරු  පුද්ගලයෙකි.  විදුහල්පතිවරයෙකු  ගුරුවරයෙකු  සහ චිත්‍ර කලා අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස අනුපමේය සේවයක් ඉටුකර දැනට විශ්‍රාම  සුවයෙන්  ගත කරන  අතර වයසින් අවුරුදු 78  ක් වුවත්  තවමත් තාරුණ්‍යයෙකු  ලෙසින්  විනෝදයෙන් කාලය  ගත කරයි.


සෝමපාල මාමා  වාහනයට ගොඩ වූ විට  යාම අසාමාන්‍ය  සිදුවීමක් සිදුවිය. සෝමපාල මාමා  සාමාන්‍යයෙන් සැලළිහිනියා  මෙන් සිව්  විශාල ශරීර ඇත්තෙක් වීය. සෝමපාල මාමා  වාහනයේ ඉදිරිපස් වැඩි වූ පසු  රජු අයියා රහසින් මෙන් " වෑන් එක වමට  අදිනවා වගේ බන් " කොදුරණට පටන් ගත්තා. එසැනින් මම "යකෝ  කට කට" 


වාහනය දැන් හැල්මේ  අනුරාධපුර පූජා නගරය  දක්වා ගමන් කරයි. සෝමපාල මාමා අනුරාධපුරය පිළිබද අපි නොදත් බොහෝ විස්තරයන්   කියන්නට  පටන් ගත් අතර  සමහර විස්තර  අපි  ඇසුවේ පළමු වතාවටය.

ශ්‍රී මහා බෝධියට උතුරු දෙසින් පිහිටි මෙම දාගැබ දුටුගැමුණු රජු විසින් ඉදිකරවන ලද බව මහා වංශයේ දැක්වේ. එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය ස්ථූපයකි.රත්නමාලී මහාසෑය, ස්වර්ණමාලී හා රුවන්වැලි යන විවිධ නම් වලින් හැඳින්වෙන මෙහි සර්වඥධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ නිධන් කොට ඇති නිසා මහාතූපය ලෙසද ප්‍රසිද්ධව පවතී බුදුන් පරිභෝග කරන ලද ස්ථානයක් ලෙසද මිහිඳු හිමි පෙන්වා දි ඇති ස්ථානයකි. උසින් අඩි 300ක් සහ අඩි 950 විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.







රුවන්වැලිසෑය 

රුවන්වැලිසෑය වැද පුදා ගත්  අප ශ්‍රී  මහාබෝධිය කරා යන ගමනේදී  අපේ මුතුන් මිත්තෙකු විසින් කරන ලද අපූර්ව ක්‍රියාවක් දක්නට ලැබුණි.  




අනතුරුව ශ්‍රී  මහාබෝධිය වන්දනා කලෙමු.

ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි  ශ්‍රී ලංකාවේ පූජනීයම වෘක්ෂයවේ. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ අංකුර පැලයකි. ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. කි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී.  


ශ්‍රී  මහාබෝධිය



ලෝවාමහා පාය


මහාවිහාර සංකීර්ණයේ නටබුන් අතරට ලෝවාමහාපාය අටමස්ථාන අතරටත් අයත් වේ. ක්‍රි:ව 161 - 137 කාලයේ රජ කළ දුටුගැමුණු රජු මෙය නිර්මාණය කර ඇත . මෙහි පියස්ස තඹ වලින් කළ උළු යොදා සෙවිළි කිරීම හේතුවෙන් ලෝවාමහාපාය යන නම ලැබී ඇති බව සැලකේ. ශෛලමය ස්ථම්භ පේලියක් මත මෙම ගොඩනැගිල්ල සාදා ඇත. වර්තමානයේ  හදුනාගන්නේ එම ස්ථම්භ පේලිය පමණි. එතැනින් උඩ කොටස එදවස දැවමය ආකෘතියක් අනුව සාදා තිබෙන්නට ඇත. මේ වන විට ගල් කණු 1600ක් දැකිය හැකිය.ගල්කණු එක පෙළකට හතළිහ බැගින් ගල්කණු පේළි හතළිහකි.

මෙම නටබුන් වූ ලෝවාමහාපාය අවසන් වරට සංරක්ෂණය කරන ලද්දේ පොළොන්නරුවේ රජ වූ ඉතා ප‍්‍රබල රජ කෙනෙකු වූ මහා පරාක‍්‍රමබාහු රජතුමා විසිනි.ලෝවා මහාපාය යන නාමයෙන් මේ විශාල ගොඩනැගිල්ල හැඳින්වූයේ එහි වහළය තඹ ලෝහ උළුවලින් සෙවිළි කර තිබුණු නිසාය. ලෝවාමහාපාය දුටුගැමුණු රජතුමා විසින් එතැන සාදවන්නට පෙර එහි තිබුණේ දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද පොහොය ගෙයකි. එයින් අවුරුදු සියයකට පමණ පසුව ලෝවාමහාපාය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද ආකාරය ඓතිහාසික වාර්තා වලින් පැහැදිලි වේ. නවමහල් මේ ගොඩනැගිල්ල භික්ෂූන් වහන්සේලාගේ පෝය ගෙයක් ලෙසින් ද භාවිතා කර ඇත. එමෙන්ම භාණ්ඩ තැම්පත් කිරීම සඳහා ද එම ගොඩනැගිල්ල භාවිතා කර ඇත. 

ලෝවාමහා පාය


ශ්‍රී  මහාබෝධිය  සහ ලෝවාමහාපායවැද පුදා ගත්  අප   අපි වාහනයට   එන අතර මගදී ලොකු අම්මා    එක්වරම  අපි  මෙයට  පෙර නොදැකි ස්ථානයක් කර   කැදවාගෙන  ගියාය. එය පැරණි රජ සමයේ අනුරාධපුර  නගරයේ ජල කළමනාකරණය පිළිබද  වාර්තා රැස්කල ස්ථානයක් ලෙස දැන ගන්නට හැකි විය.

   



ඊලගට  ප්‍රසිද්ධ ස්ථාන නැරඹීම පසෙකලා  අනුරාධපුර ඇතුලු  රාජධානියේ අලුතින් කැනීම් කර සොයාගත් ස්ථානයන් ,  පන්ගොල්ල සහ   ගල් පාලම නැරඹීම සදහා සදහා පිටත් වීමු.


සාමාන්‍යයෙන්  අනුරාධපුර වන්දනාවේ  එන  බොහෝ
 පිරිස් ප්‍රධාන  වශයෙන්ම ගමන් කරන්නේ අටමස්ථාන ආශ්‍රිත ප්‍රදේශ තුලයි.  ඒ හැරුන  කොට  තවත් විශාල ප්‍රදේශයක වටිනා ස්ථාන රාශියක් දක්නට ලැබේ.   නව කැනිම්  වලින් සොයාගත් අනුරාධපුර ඇතුලු නගරයේ වටිනා වටිනා ස්ථානයක්  කරා අප මින් පසු ගමන් කළෙමු.  පොළොවේ ගැඹුරට හාරණ  ලද අපේ පැරණි අතීත උරුමය මේ අයුරින් හෝ දක්නට ලැබීම සතුටට කරුණකි. මාගේ  දුප්පත්  ජංගම දුරකතනයේ  කැමරාව මීට  වැඩ පැහැදිලි දර්ශන  ලබාගැනීමට තරම්  පොහොසත් නැත...


අනුරාධපුරයේ පැරණි  නගරයේ සැගවුන  අතිත ශ්‍රී විභූතිය  සොයා අබිනවයෙන්  කැනිම් සිදුකල ස්ථානයක් කුට්ටම් පොකුණ සහ මහා විජයබා රාජ මාලිගය ආශ්‍රිත ප්‍රදේශයේ දක්නට ලැබෙනවා.තවමත් ස්ථිර ලෙස  හඳුනා  නොගත් මෙම ස්ථානය   ඉතා ගැඹුරට කැනිම් කොට විශාල පුරාවස්තු ප්‍රමාණයක්  සොයාගෙන තිබෙන බවයි දැනගන්නට ලැබුනේ.     





මහා විජයබා රාජ මාලිගය ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරයේ  නිරත වූ  අප මින් පෙර නොදුටු ඉසව් කීපයක් ඔස්සේ ගමන් කරන්නට යෙදුන.  දාන ශාලාවක්, කෑම ඔරුවක්, සංඝයා වහන්සේලා සදහා තැනී  ළිදක් අපට දකින්නට ලැබූනි( මෙම ස්ථානය පිළිබද තවත් තොරතුරු  සොයාගැනීම සදහා සෝමපාල මාමා මගින් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටිමි )

එම ලිදෙහි යම් විශේෂත්වයක් දකින්නට පුළුවන්. පොලොව මට්ටමෙන් පහතට ගමන්කල හැකි ආකාරයට පියගැටපෙළක් ඉදිකර ඒ මතින් පහලට බැස එය කරා යා  යුතු වෙනවා    





මහා විජයබා රාජ මාලිගය ආශ්‍රිත ප්‍රදේශය 










එක්වරම හරින්දුවා අප කිසි දිනක අස නැති   අමුතු භාෂාවක් බොහෝ අසීරුවෙන් කියවනවා ඇසෙන්නට පටන් ගත්තේය. ඒ  අතරින් අපේ ලොකු අම්මගේ විහිලු කතන්දර රාශියක් අසන්නට ලැබූන අතර මේ දෙදෙනාගේ විකාර භාෂාව එන නික්මෙන දිශාව කරා   අපද ගමන් කරේ එක්කෝ මේ දෙන්නට භූතයෙක් හෝ ආරූඩ වී කියවනවා දැයි බැලීමටය. අහෝ ඛේදයකි මේ දෙදෙනා එක්ව සෙල්ලිපියක අඩංගු  සංස්කෘතික වදන් කියවන්ට දැඩි උත්සාහයක නිරත වන අතර සමහර    වදන් සංස්කෘතික භාෂාවද ඉක්ම යන්නක් විය.






මහා විජයබා රාජ මාලිගය ආශ්‍රිත ප්‍රදේශය  නැරඹු අප ගමන් කලේ පන්කුලිය හෙවත් අශෝකාරමය වෙතටයි. යනෙන අතරතුර කිරිබත්වෙහෙර සහ විජයාරාමය දක්නට ලැබූනි.

කුට්ටම් පොකුණේ සිට මහා මාර්ගය දිගේ ඉදිරියට එනවිට දකුණු දෙසින් පටු මාවතක් දක්නට ලැබේ. එම මාර්ගයේ මීටර් 400ක් පමණ ඉදිරියට ගිය විට කිරිබත්වෙහෙර නැමැති ඉපැරනි දාගැබ දක්නට ලැබෙනවා . දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවූ ප්‍රථම දාගැබ ලෙස ඇතැම් අය විස්වාස කරන අතර දාගැබේ පාදම අඩි    435 ක් පමණ වන අතර වර්තමානයේ  එහි උස ආදී 30 ක් පමණ වෙයි.  ඒ අසලම අඩි 10ක් පමණ උසැති හිටි පිළිමයක් දක්නට ලැබෙයි.
එය පසුකොට දුෂ්කරවූ මාර්ගයක් ඔස්සේ  අශෝකාරමය වෙත ගමන් කළෙමු. වර්තමානයේ අශෝකාරමය ලෙස හදුන්වනු ලැබුවද ඉපැරනි නාමය තවමත් සොයාගෙන නැත. මෙහිවූ නටබුන් අතර සඳකඩ පහනක් සහිත ප්‍රතිම ගෙයක්, ස්නානාගාරයක් , දාගැබක් , මෙහෙණවරක් යයි සැලකිය හැකි දිග ශාලා සහිත ගොඩනැගිල්ලක්, විශේෂිත මුරගලක් සහ අගනා හිඳි පිළිමයක් වෙයි. විරාසන ඉරියව්ව සහිත මෙම හුණුගල් බුදු පිළිම දෙනෙත් අගනා  දියමන්තියෙන් අලංකෘත වූ බවක් සඳහන් වෙයි. මෙම බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර යුගයේ 9,10 සියවස්වලට අයත් යැයි සිතිය හැකි අතර පිළිමයේ උස ආදී 6 අඟල් 9කි.




විරාසන ඉරියව්ව සහිත බුදු පිළිමය


සඳකඩ පහන




අශෝකාරමය ආශ්‍රිත ප්‍රදේශය මොරුන්ගේ රජදහනක් වූ අතර අපගේ පිරිස අශෝකාරමය නැරඹීම පසෙකලා මොනර පිහාටු අහුලන්නට පටන්ගත්  අතර  එක්වරම "අන්න මොණරෙක්  අන්න මොණරෙක්"  යනුවෙන් ලොකු අම්මා හඬ අවදි කල අතර පිහාටු  ඇහිලිම පසෙකලා මොරා බලන්නට දිව ගියෙමු. අහෝ මොනරෙක්  තියා ඌ  ගිය අතක් වත් සොයා ගන්නට නොවියඒ අතර තුර ගෝඨයිම්බර පරපුරේ පුනරුප්පත්තියක් දක්නට ලැබුන අතර හරින්දුවා ගල්කණු ඔසවන්නට උත්සාහයක නිරත  වනු දක්නට ලැබුනි. ඒ අතරින් ලොකු අම්මාගේ බ්රේක් නැති කටද අවදිවී සියලු දෙන සිනා සයුරේ  ගිල්ලවන්නට වීය 

ගෝඨයිම්බර පරපුරේ පුනරුප්පත්තිය




සඳකඩ පහන නරඹා  ආපසු  යන්නට සුදානම් වන විට එකවරම ලොකු අම්මා කාගේද මේ "දේට බක "  යනුවෙන් හඩනගා  කියන්නට පටන් ගත අතර අප සියලු දෙන එක්වරම ආපසු හැරි වෙන්නේ කුමක්දැයි බැලුවෙමු. නැවතත්    කාගේද මේ "දේට බක " යනුවෙන් කියන්නට පටන් ගත්තාය. 


මෙ පමනක් වෙලා මුනිවත රැකි චුටි අම්මා "මේ  ලොක්කිට මේකේ හිටපු  බහිරවයෙක් ඔලුවට ගහලද මන්දා "
යනුවෙන් කියමින් මහා හයියෙන්  සිනා සෙන්නට පටන් ගත් අතරම ඉන්  අනතුරව දෙදෙනාගේ  නිමක් නැති විහිලු තහළු වලින් දැඩි  අව් රශ්මියේ වුවද අපට විනෝදයෙන් කාලය  ගෙවන්නට හැකි වි
ය    

විනෝදයෙන් පිරුණු පංකුලියේ සංචාරය කල අපි මීලගට "ගල් පාලම නැරඹීම සඳහා ගල්පාලම මාවත දිගේ ඉදිරියට ගමන් කළෙමු. මල්වතුඔය හරහා ඉදිකර තිබෙන ඉපැරණි ගල් පාලමේ මුල් කාලයේ අඩි 10 ක් පමණ පළල ගල්පතුරු 6ක් හෝ 7ක් යොදාගනිමින් ඉදිකර තිබෙන්නට  ඇතැයි විශ්වාස කෙරේ. වර්තමානයේ   ගංගා පතුලේ සිට ආදී 10ක් පමණ උස ගල් කණු 10ක් පමණ දක්නට ලැබෙන අතර ශ්‍රී මහා බෝධිය රැගෙන සංඝමිත්තා තෙරණින් වහන්සේගේ පැමිනීමද මෙම ගල් පාලම හරහා සිදුවූ බවක්    විශ්වාස කෙරේ...


මේ හා සමාන නමුත් ප්‍රමාණයෙන් කුඩා ගල්පාලමක් හාල්පාරු ඇළ මතින් යොදා තිබෙනවා දකින්න පුළුවන්. 




එම නාම පුවරුව දුටු සැනින්   සුපුරුදු  පරිදි ලොකු අම්මා හඬ අවදි කලේ "ආ ඔය තියෙන්නේ  ඒ කාලෙ මම හාල් පෙරාපු ඇළ   තමයි මේ."  එකෙහිනම චුටි අම්මා හඬ අවදි කලේ "එක තමා ලොකු අක්කේ *********".

එවර නම් අපගේ සිනාව නවත්වා ගත්තේ දැඩි ආයාසයක්  යොදා ගනිමින්ය.
 


ගල්පාලම නැරඹු  අප ඊලඟට පැමිනියේ කුට්ටම් පොකුණ දක්වායි. වෙලාව මධ්‍යහන 12 ඉක්මවුවද බඩගින්නක සේයාවක්වත් අප වෙතින් දක්නට නොලැබිණි. අප වෙනද අසා නැති තොරතුරු රාශියක් අද දින සෝමපාල මාමා මගින් දැනගන්නට  හැකිවිනි        

පොකුණු දෙකක් එකිනෙකට යාබදව පිහිටීම නිසා මෙය කුට්ටම් පොකුණ ලෙස ව්‍යවහාර කෙරේ  එනමුත් මෙය මෑතකදී   ව්‍යවහාරට එක්වුවක් ලෙස දැනගන්නට ලැබිණි. මෙහි පුරාතන නාමය හෝ නිර්මාණ  ශිල්පියා කවරෙක්ද යන්න තවම සොයාගෙන නැත. අභයගිරි විහාර භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනයට කැපවුන මෙහි උතුරු පොකුණ දකුණු පොකුණට වඩා පැරණිය. උතුරු පොකුණ අඩි 91 සහ දකුණු පොකුණ අඩි 132 ක් වුවත් පළලින් සමානය. ගැඹුර  අඩි 14-17 අතර වේ පොකුණු දෙක අතර පරතරය අඩි 18 කි. 




පොකුණු ආරක්ෂාවට ගලින් ඔප මට්ටම් කලාවූ ප්‍රාකාරයක් නිමවා ඇත. පොකුණ සඳහා  ජලය සැපයිමේදී පොකුණු දෙක වටා වූ ආරක්‍ෂිත ගල් බැම්මේ බස්නාහිර වූ සිංහ මුඛයෙන් එන ජලය උතුරු පොකුණ අසල ගල් කොටුවට  ඇතුලත් වෙයි. මෙම ගල්කොටුව මගින් මඩ , කුණු ආදිය පොකුණ තුලට එම වලක්වනු ලබයි.      
මෙහිදී පවිත්‍ර වුන ජලය උතුරු පොකුණ කර මකර කටින් ගල යයි. අනතුරුව උතුරු පොකුනින් දකුණු පොකුණ කර ජලය ගමන් කරන්නේ පොකුණු දෙක අතර පොලෝ මට්ටමෙන් අඩි 9ක් යටින් පවතින ගල් කානුවක් මතිනි. එම ස්ථානයේ  පෙර දවස සිංහ රුපයක් තිබු  බව කියවේ.
කුට්ටම් පොකුණ නරඹා අවසානයේ දිවා ආහාරය සඳහා  අප  සුදානම් වුවා. කුට්ට්මපොකුනත් අභයගිරි විහාරයත් ආශ්‍රිත ප්‍රදේශයක් වාහනය  නවත්වා දිවා   ආහාර වෙල බුක්ති වින්දෙමු.


දිවා  ආහාරය ගත් අප මද වේලාවක් විවේක  ගෙන  ඊලග ඉසව්ව කර  ගමන් කළෙමු.  වසර සිය දහස් ගණනක අතීත නටබුන් ඔස්සේ ගමන් කරනවිට දැනුන සිතුවිලි විවිධාකාරය.
විනාඩි කීපයක ගමනකින් අනතුරුව අප  ලගා වුයේ ලොව විශිෂ්ඨතම මුර්ති කලාව පිලිඹද ශ්‍රේෂ්ට සාධකයක් නැරඹී
ම සදහායි.බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදී වැඩ සිටින අයුරු  නිරුපනය කරන සිව්වන සියවසට අයත් යැයි   සැළකෙන    සමාධි මුද්‍රාවෙන් යුතු මෙම ප්‍රතිමාව ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියෙකුගේ නිර්මාණයක් ලෙස විචාරකයෝ පවසා සිටියි. මේ හා සමානව පුවරසන්කුලම ප්‍රදේශයෙන්ද පිළිමයක් හමුවී තිබෙන අතර එම පිළිමය සමග යම් සමානකමක්  දක්වනු ලබන බව දැනගන්නට ලැබුණි. 
 
   






විශිෂ්ට වූ මෙම අගනා  නිර්මාණය බොහෝ වෙලාවක් නැරඹු අප මීළඟට ගමන් කලේ  අභයගිරි විහාර සංකීර්ණය වෙතයි. 


මහා වංශයේ සඳහන් වන පරිදි ක්‍රි.පු පළමු සියවසේ වළගම්බා රජු විසින් අභයගිරි විහාරය කරවු අතර එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණිග ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්භා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලා යයි යනුවෙන් අපහාස කළ බවත්නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් දැනගන්නට ලැබුණි. ‍

මහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත. සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රසාදය දිව්‍ය විමානයක් බඳු වු බව අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ.









මෙහි තිබි හමු වු මුරගල් දෙක සුවිශේෂි නිර්මාණ වේ. ඒවා සංඛ නිධි හා පද්ම නිධි ලෙස නම් වේ.මෙය අඩි 400පමණ උස වේ. විශාලත්වයෙන් දෙවන ස්ථානය ලැබු දැගැබකි.අභයගිරි විහාර සංකීර්ණය නැරඹු අප මීලගට ගමන් කලේ තවත්  සුවිශේෂී නිර්මාණයක් දැක බලා  ගැනිම සඳහායි. අභයගිරි විහාර සංකීර්ණය තුල පිහිටි මහසෙන් මාලිගය නමින් හදුන්වනු ලබන ගොඩනැගිලි පහකින් සමන්විත පංචා වාස නම් ස්ථානයේ පිහිටි සඳකඩපහන කලාත්මක අතින් උසස් නිර්මාණයක් ලෙස සලකනු ලබයි.    



ඒ අසලම පිහිටි රත්න ප්‍රාසාදය වෙත  ළඟ වූ අප එහි වූ විශිෂ්ට මුරගල නැරඹිමු. හෙළ කලාකරුවාගේ මා හැඟි නිර්මාණයක් වන මුරගල පූජනීය ස්ථානයකට, හෝ රාජකීය ස්ථානයකට පිවිසෙන දොරටු අභියස පියගැටපෙළ පාමුල සඳකඩපහන දෙපස පිහිටවනු  . දිගු කලක් මුළුල්ලේ විකාශනය වූ මුරගල ආරක්ෂක ගල්, දොරටුපාල ගල් නමින්ද හැඳුන්වයි.පස් වන සියවසට අයත් මේ මුරගල මිහිඳු රජ දවස නිමවූ. දුටුවන් මන බඳනා රාගී හැඟීම් ඉස්මතු කළ නා රජ රුව තාරුණ්‍යයෙන් පිරිපුන් ය






අභයගිරි විහාර සංකීර්ණය වෙනදාටත් වඩා ආසාවෙන් නැරඹු අප මහසෙන් මාලිගය අසලම තිබු  තවත් අප්‍රකට මාලිගා සංකිරණයක් වෙත ගමන් කලේ සාමාන්‍යයෙන් අප නොදුටු තවත් අග්‍රගන්‍ය නිර්මාණයක් සොයාගැනිම සඳහාය.. මහසෙන් මාලිගා  සඳකඩපහනට නොදෙවිනි වන අයුරින් නිමකර ඇති තවත්    සඳකඩපහනක් එම ස්ථානයේ දක්නට ලැබේ. මෙම  ස්ථානයට ව්‍යවහාර කරන නාමය පිළිඹදව නිවරදි දැනිමක් මා  සතුව නොමැත..    





පෙර අනුරාධපුරයේ කල සංචාරයන්ට වඩා පුළුල් දැනුමක් ලබාගත් අප අභයගිරි විහාර සංකිරණයෙන් පිටත් වීමට පෙර අභයගිරි දානශාලාව අසල පිහිටි ඇත් පොකුණ කර  ගමන් කළෙමු  වත්මන් ඔලිම්පික් තටාකයක් මෙන්  6 ගුණයක් විශාල වූ මෙම පොකුණ සැබැවින්ම දැවැන්ත නිර්මාණයක් බව  එය නරඹන කාහට වුවත් අවබෝධ  වනු ඇත. මෙය ලංකාවේ ඇති විශාලම පොකුණ වශයෙන් සලකනු ලබයි


ඇත් පොකුණ





ඇත් පොකුණ නරඹා  අවසානයේ ඒ අසලම පිහිටි වළගම්බා රජ විසින් කරවන ලද ලංකාරාම ස්තුපය වෙත ගමන් කළෙමු. ථූපාරම ස්තුපයට වඩා විශාලත්වයෙන් කුඩා නමුත් එම ලක්ෂණ අනුසාරයෙන්  මෙය ඉදිකර ඇත. සෝමා දේවිය සිහිවීම සඳහා මෙම දාගැබ ඉදිකර ඇතැයි  විශ්වාස කෙරේ. පුරාණයේ මෙම දාගැබ වටා වටදාගෙයක් තිබු බවට සාධක දක්නට ඇත. අඩි 45 ක විශ්කම්භයක් යුතු මෙම දාගැබ අඩි 132 විශ්කම්භයක්   ඇති වටකුරු මළුවක් මත පිහිටා ඇත.

ලංකාරාම ස්තුපය

මෙම මළුවට ප්‍රවිෂ්ට වීම සඳහා සතර දිශාවෙන්ම පියගැට පෙළ 4ක් දක්නට ඇත. නැගෙනහිර දොරටුව අසල ශිලාමය පැන් දෙනියක් දකින්නට පවතී. දාගැබට නැගෙනහිර දිශාවෙන් නෂ්ඨාවශේෂ අතර ඔත් බුදු පිළිම කීපයක් සහ අමරාවතී ශෛලයට නිර්මිත හිස රහිත  බුදු පිළිමයක් දක්නට ඇත.

අභයගිරි විහාර සංකීර්ණයෙන් අද දින අප නික්මුනේ  වෙන කවරදාටත් වැඩ ලබගත්තවූ  දැනුම් සම්භාරයක් සමගිනි. කෙමෙන් කෙමෙන් අඳුර ගලාගෙන එන්න ආරම්භ වුනා.




ථූපාරාම ස්තුපය ක්‍රි:පූ:250-210 පමණ දෙවනපෑතිස් මහ රජතුමා   විසින් බුදුරජන් වහන්සේගේ දකුණු අකු ධාතුන වහන්සේ නිධන කොට තනන ලද මෙම ස්තුපය ලංකාවේ පැරණිම දාගැබ ලෙස සලකනු ලබයි. මුලින් මෙය ථූප ලෙස  හැඳින්වුන අතර මෙයට අයත් ආරාමය  ථූපාරාමය ලෙස  හඳුන්වනු ලැබු බවක් සඳහන්ය. පුරාණයේ දාගැබ වටා කූටාගාර වහලයක් සහිත ගොඩනැගිල්ලක් පිහිට තිබුන අතර වහළය රඳවා තිබුණු ගල් ටැම් පේලි 4 ආරක්ෂිතව පවතිනු දක්නට ලැබූනා  ගල්කණු පේලින් පේලිය එකිනෙකට වෙනස් වන අතර සියලුම ගල්කණු අට පට්ටම් හැඩෑතිය. ඒවායේ හිසමත දකින කෙටයම් පවා වෙනස්කම්වලින් යුක්තය. දැනට දාගැබේ උස අඩි 63 ක් වන අතර විෂ්කම්භය අඩි 59 කි. අතීතයේ ධාන්‍යාකාර හැඩයකින් යුක්තවුවද  1842 සිදු කල ප්‍රතිසංස්කරණයකින් පසු එය ඝන්ඨාකාර හැඩයකට වෙනස්වී පවතී.

ථූපාරාම ස්තුපය




සුප්‍රකට ථූපාරාම ස්තුපය  වන්දනා කල අප  ගමන් කලේ අනුරාධපුරයේ පිහිටි  උසම උළුවස්ස නරඹනු පිණිසයි.           

අඩි 27ක් උස දැවැන්ත  උළුවස්ස   




ජේතවන ආරාම සංකීර්ණයේ පිහිටි ප්‍රතිමාඝරය ඉතා ඝනව ඉදිකළ බිත්ති වලින් යුක්තවන අතර උළුවහු කණු අඩි 27ක් උස බවත්  තවත් අඩි 9 ක් පොළොවට යටව ඇති බවත් දැනගන්නට ලැබුනා. පුරාණ පද්මාසනයෙහි කොටසක් දක්නට තිබෙන අතරම ඇතැම් කොටස් නිදන් සොරුන් විනාශ කර ඇත. පද්මාසනයේ ප්‍රමාණය අනුව මෙහි විශාල හිටි පිළිමයක් වැඩ සිටින්නට ඇතැයි සලකන්නට  පුළුවන්. එය එසේ නම් මෙහි  පැවති හිටි පිළිමය අනුරාධපුරයේ පිහිටි  උසම හිටි පිළිමය වන්නට තිබුණි. ජෝති වනයේ පුරන ප්‍රාකාරයේ නෂ්ඨාවශේෂයෝ පිළිම ගෙට බස්නාහිර දිශාවෙන් දකින්නට පුළුවන්.

මෙම  ස්ථානය නරඹන අතරතුරදී වුවත් ලොකු අම්මා සුපුරුදු විනෝදයෙන්  නොයෙක් දේ කියමින් අප සැවොම ප්‍රීතියට පත් කල අයුරු අදත් මතක් වෙනවා. ප්‍රතිමාඝරය ඉතා ඕනා කමින්  නරඹමින් සිටින අතරතුර  එකවරම මහප්ප හඬ අවදි කලේ  අන්න මුව රංචුවක් ඇවිල්ල ඉක්මනට වරෙල්ලා.........

ප්‍රතිමාඝරය නැරඹීම පසෙකලා අප සේම දිවගියේ මහප්ප කියූ මුව රංචුව බලගන්නටය. එහෙත් අප දුටු මුව පැටියෙක් හෝ  නොවිණි. අප දැඩි  අවදානයෙන්  මුව රංචුව  කොහිදැයි  සොය්යන්නට වුනා.  මද වෙලාවක්  නිහඬව සිටි මහප්පා     එක වරම අන්න අර අර  ඉන්නේ. අප සියලුවෙනම ඔහු පෙන්න්වූ ඉසව්ව කර  කටවලුත්  විවර  කොට  ඕනකමින් බලන්නට වීමු.  !@#$$#^#)@)(#^$%$)#&^#%#_





එකෙහිනම දකින්නට  ලැබුනේ සුදු මුවෙකි වෙනසකට තිබුනේ කුඩා අඟ  සහ පිටවන ශබ්දය "බෑ  බෑ බෑ බෑ බෑ " යන්නත් පමණි.

  

ප්‍රතිමාඝරය නැරඹීම  අවසානයේ සමුහ සේයාරුව   සඳහා සුදානම් වීමු.  සැලළිහිනියා සුපුරුදු පරිදි ඡායාරූපශිල්පී තනතුරේ වැඩ   බැලුවේය.

වේලාව සවස 4ත් පසුවන්නට ආසන්නය. ජේතවනාරාම සංකීරණයේ සැරිසැරු අප තවත් වටිනා දැනුම් සම්භාරයක් සෝමපාල මාමා මගින් මතකයට එකතු  කරගත්තෙමු.

මහසෙන් මහා රජතුමාගේ නිර්මාණයක් වූ මෙම දැවැන්ත දාගැබ ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද විශාලතම දාගැබ ලෙස හඳුන්වනු ලබයි.  ක්‍රිව 276 -300 අතර කාලයේ ඉදිවුන ජේතවන දාගැබ එකල අඩි 400ක් වූ අතර වර්තමානයේ   අඩි 232කි. පාදමය පරිමාණය අඩි 1147කි. අක්කර 8ක් වූ දාගැබ මළුවේ පැත්තක දිග අඩි 576ක් පමණ වෙයි. සම්පුර්ණයෙන්ම ගඩොලින් කල නිර්මාණයක් වන ජේතවනාරාමයේ අත්තිවාරම පඩිපෙලක ආකාරයෙන් අඩි 25ක් යටට තිබේ. ජේතවන විහාරය මහා විහාර භුමිය තුලම පිහිටා තිබෙන අතර එය මුල් කාලයේ දක්ෂිණ විහාරවාසී සාගලික භික්ෂූන් සඳහා වෙන්ව තිබුණි


ජේතවන දාගැබ


නිදහසේ ජේතවන භුමිය සිසාරා

වේලාව  ගැන  කිසිවෙකුට හෝ එතරම් තැකීමක් නැති බවක් පෙනෙන්ට විය . සැවොම නිදහසේ ජේතවන භුමිය සිසාරා නිදහසේ ඇවිදින්නට වුන.ඒ  අතර තුර  මගේ ජංගමය දවසේ  පළමු වතාවට නාද වුයේ  ලොකු මාමාගේ පුත්‍ර රත්නය ලබාගත් දුර ඇමතුමත් සමගය. අනුරාධපුරයේ රාජ්‍ය නොවන සංවිධානයක ඉහල තනතුරක් දරන අයියන්ඩිය අප අමතා තිබුනේ සවස තේ පානය සඳහා අහවල් හෝටලයට පැමිණෙන ලෙසටයි. සැවෝම ප්‍රීතියෙන් පිනා  ගියේ  අද  සවස තේ පානය  හොඳ හෝටලයකින් ලැබෙන්න යනවයි  සිතමිනි. 

සවස තේ පානයට ප්‍රථමයෙන් තවත් ඉසව්වක් වෙත  ගමන් කල අප  දුටුගැමුණු  මහරජතුමාගේ නිර්මාණයක් වූ මිරිසවැටිය දාගැබ පිහිටි භුමිය වෙත පිය නගුවෙමු.

තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ. නමුත් තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය.

මිරිසවැටිය දාගැබ


කවර කරුණක් වුවද ඉතා විශිෂ්ට නිර්මාණයක් වන මෙම දාගැබ  පද්මය විෂ්කම්භය අඩි 168 කින් යුක්තය. අනුරාධපුර දාගැබ් අතරින් හොන්දීම ආරක්ෂා වූ වාහල්කඩ මෙහි දකින්නට ලැබේ. දාගැබට ඊශාන දෙසින් පැරනි දන්හල පිහිටි අතර පැතත්ක දිග අඩි 75 ක් වූ එහි මැද යටට හාරන ලදුව ගල් අතුරා ඇති පොළොවක් දක්නට පවතී. දාන ශාලාවට අයත් ඔරුව නැගෙනහිර දිශාවේ දක්නට තිබෙන අතර දිගින් අඩි 10 ක් සහ පළලින් අඩි 3ක් සග ගැඹුර අඩි 2ක් වෙයි. 

      
මිරිසවැටිය දාගැබ නැරඹු අප එතනින් පිටත්වුයේ තේ පානය සඳහා අයියන්ඩිය ආරාධනා කල හෝටලය වෙත යාමටය. වෑන් රථය අවතීර්ණ වුයේ බසවක්කුලම වැව් බැම්ම මතටය. එක් වරම   ලොකු මාමා කාටද  නාන ඕන.  මටනම් දැන නාන්න ඕන කියමින්  රජු අයියට වාහනය සුදුසු ස්ථානයක නතර කරන්නට  කීය.  ලොකු  මාමාගේ එම ප්‍රකාශයට සැලළිහිනියා  කොතරම් පස්වනක් ප්‍රීතියට පත්වුයේ යැයිද කියතොත්  කාටත් කලින්ම වාහනයෙන් බැස බසවක්කුලම වැවට බැස අවසන්ය...



අක්කර 265 ක ප්‍රදේශයක් පුරා පැතිර පවතින අක්කර අඩි 1910 ක ධාරිතාවකින් යුතු බසවක්කුලම වැවේ, වැව් බැම්මේ දිග අඩි 3900 ක් වේ. වැවේ සාමාන්‍ය ගැඹුර අඩි පහළොව හමාරක් (15 ½) වේ. අක්කර 460 ක වපසරියකින් යුතු වැවකි..

බොහෝ වෙලාවක් බසවක්කුලම වැවේ  ස්නානය කල අප  යාපනය හන්දියේ පිහිටි හෝටලය කරා ගමන් කලේ  අයියණ්ඩියගේ සවස තේ පානය සඳහා සහභාගී වීමටය.  වෙලාව සවස 6ත් පසුව තිබුන අතර ආගිය තොරතුරු කතා කරමින්  එම ස්ථානයේ මද වෙලාවක් රැඳී සිටියෙමු. එලෙසම එඛර දුක්මුසු විස්තරයක්ද සෝමපාල මාමා ප්‍රකාශ කලේ එහිදීය.
මෙයට වසරකට පෙන අප අතරින් වෙන්වූ සෝමපාල මාමගේ බිරිඳගේ උපන් දිනය එදිනට දී තිබු බවත් එම දිනය අප සමග සමරනට ලැබිම ඔහුගේ සතුටට හේතුවන බව ප්‍රකාශ කළේය.කෙසේ හෝ අප අනුරාධපුරයෙන් සමුගන්න වෙලාව ලංවිය. සෝමපාල මාමාව නිවස්නය කරා රැගෙන යාම අයියණ්ඩිය භාර ගත් අතර  දිනය පුර අප සමග එක්ව අනුරාධපුරයේ අප නොදුටු ස්ථාන බොහොමයක් කර අපව රැගෙන යමින් අප දෙනුම පොහොසත් කල සෝමපාල මාමාට අනෙක වාරයක් ස්තුති කල  රාත්‍රී 7.30 පමණ වනවිට අනුරාධපුරයෙන් පිටත්ව  නිවෙස් කරා එන්නට පිටත් වීමු.  අප අවසානයේ  ඉසුරුමුණි විහාරයටද ගමන් කර අඳුරේ වුවද නරඹන්නට වීමු. 








බොහෝ සෙයින් බලාපොරොත්තු වූ ඉසුරුමුණි පෙම් යුවල නැරඹීමේ අවස්ථාව එදින අපට නොලැබුණි.
කෙසේ හෝ ඉසුරුමුණි විහාරයද වැඳ පුදාගත් අප අනුරාධපුරයෙන්  කුරුණෑගල මාර්ගය වෙත අවතීර්ණ වූයෙමු.  දිනය මුළුල්ලේ හඬනගු කිසිවෙකු දැන්  සද්දයක් හෝ නැත. සියල්ලම අඩ නින්දේය. එකවරම ලොකු මාමා පැරනි ගීතයක් මහා හඬ  නගමින් මුමුනන්ට පටන් ගත්  අතර  නින්දක සිටි ලොකු අම්මාද එකෙහිනම අත්වැල සපයමින් එයට සහය දෙන්නට ඉදිරිපත් විය .

එතැන්  සිට දළදාගම මංසන්දිය දක්වා   නොනවතින ගීත ගායනයන්ගෙන් යුක්තවිය.


දළදාගම මංසන්ධිය ආසන්න වත්ම  ලොකු අම්මා ඇමතු  ලොකු මාමා "  එහෙනම් ලොකු නංගියේ  අපි  යන්නම් " එයට  පිළිතුරු දුන්  ලොකු අම්ම  "  හොදයි ලොකු අයියේ  අපි වෑන්  එකෙන්ම යන්නම් එහෙනම්අනිත් අට රෑට  මොනවා හරි කාල එයි ලොකු අයිය මගට වෙලා  ඉන්නකෝ"  

දළදාගම  මංසන්දියෙන් නිකවැරටිය දක්වා  වූ පාලු මාර්ගයේ අධික වේගයෙන් වාහනය ධාවනය කල රාජු අයිය රාත්‍රී 10.30 වන  විට  නිකවැරටිය ලොකු  අම්මාගේ නිවාස කරා සේන්දු විය.  නිවසට පැමිනි  විටම ලොකු අම්මා චුටි අම්ම සහ අපේ අම්මා   ආගිය අතක් නොමැති වූ අතර    සුළු මොහොතකින් කුස්සිය දෙසින් විවිධාකාරී ශබ්දයන් ඇසෙන්නට පටන් ගත්  අතර පොල් බිඳිනවා  පොල්  ගානවා වැනි ශබ්ධ රාශියක් එසේන්නට් විය.   ලොකු මාමා නිකවැරටිය මහප්ප  සහ  අනික් මහප්ප ආගිය අතක් නැත.  මම හරින්දුව සහ  අයියන්දිය දීර්ඝ කතාවක නිරත් වූ අතර විටින් විට හරින්දුවා , ජංගමයෙන් සිය නිවාස අමතා  "අද  මම  එනවා එක්ක යන්න එන්න" යනුවෙන් කීප වතාවක් නිවසට අමතනවා ඇසුනී.  කෙසේ හෝ නිකවැරටියේ  ගතකල කාලය පැය 3ක් වත් වූ අතර රාත්‍රී 1 පමණ වන විටත්  අප නිකවැරටියේය.  නිවසට  යාමේ අදහස අත්හැර දැමු හරින්දුවා "එහෙනම් අද මම උඔලගේ ගෙදර ඉදලා උදේ  යනවා බන්" වශයෙන් අවසානයේ කියන්නට වුනා.  අවසානයේ රාත්‍රී 1.15 ට පමණ නිකවැරටියෙන් පිටත් වූ අප පෙව 2.30 පමණ වනවිට   අපගේ නිවාසය කරා පැමිනියෙමු.   කාලයකට පසු  ඉතා සාර්ථක වුත් විනෝදජනක චාරිකාවක්  නිම කරමින් රාජු අයියා  වෑන් රථය ගෙන ලොකු මාමගේ  නිවාස  කර පිටත්වන විට  පෙව 3.00 ද  පසුවී  තිබුණි.

මේ ආකාරයෙන් සැලළිණියන්ගේ
 අනුරාධපුර චාරිකාව  නිමාවට පත්වූ අතර තවත්  සුවිශේෂ චාරිකාවක විස්තර සමගින්  ළගදීම හමුවෙමු  

♛ 

සැලළිණියන්ගේ පළමු දීර්ඝ ලිපිය මෙය වන අතර   කියවා බාල  ඔබගේ අදහස් උදහස් දක්වන්නේ නම් කෘතඥ වෙමි.      




        

4 comments:

  1. අලේ..මේක කියෙව්වම මතක් උනේ අවුරුදු තුනකින් විතර අනුරාධපුරේ ගියේ නෑ..:(

    අර වෙලාවක් කිව්වම වෙලාවට එන්නෙ නැති යාළුවෙක් මටත් ඉන්නවා. ඌ හන්දා ගිය අවුරුද්දෙ ඔෆීසියෙන් ගිය ට්‍රිප් ර්ක තව පොඩ්ඩෙන් මට මිස් වෙනවා. ඌට කතා කරලා ඇහුවමත් කියන්නෙ " මේ එනවා...එන ගමන් ඉන්නේ ..නැත්තම් අයම් ඔන් ද වේ " කියලා තමා..

    ReplyDelete
  2. පෝස්ටුව එල...ඒත් දිග වැඩියි අප්පා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන්දු. ඹබගේ අදහස් දැක්වීම පිලිගනිමි...
      ඊලග පෝස්ටුව අදියර කීපයකින් දාන්නම්.....

      Delete

එක් කලාවූ අදහස් උදහස්