Wednesday, January 30, 2013

යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - දෙවන කොටස


ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය පෙනෙන  සිමාවේ එක්වරම  දුම්රිය නැවැත්වීම අප සෑම දෙනාටම   මහත්වූ කුතුහලය දනවන සිදුවීමක් විය.   ඒ අතරම දුම්රිය ස්ථානය දෙසින් කීපදෙනෙක් උදළු තල සහ තවත් උපකරණ රැගෙන මග නැවතී ඇති දුම්රිය කරා එන ආකාරය පෙනෙන්නට  වීමද අපහට  සිදුවන්නේ  කුමක්දැයි සිත ගන්නට නොහැකි දෙයක් බවට  පත්ව තිබුණි ...   

කාලයක   පෙර මේ ආසන්නතම  වටගොඩ  ප්‍රදේශයේ  සිදුවූ අමිහිරි  සිදුවීමක මතකයද  සිතේ නලියන්නට විය.  කෙසේ හෝ   දුම්රිය  මහා වර්ෂාව මැද  මෙලෙස නතරවන්නට වූ හේතුව පැවති මහා ධාරානිපාත වර්ෂාව නිසා ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය  අසල වූ දැවැන්ත ග්‍රේට් - වෙස්ටර්න් කඳුවැටියෙන් ගලා ආ  මහා  ජල කඳ  සමග පැමිණි විශාල පස් තට්ටුවක් දුම්රිය මාර්ගය හරහා රැඳී මාර්ගය  යටවිමය. එම හේතුව නිසා  දුම්රියට  එතනින් එහාට යාමට නොහැකි වී තිබීමය  විනාඩි කීපයක දැවැන්ත මෙහෙයුමකින්  පසු දුම්රිය ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය කරා ළඟා  විය.  මහා වර්ෂාව  තරමක් තුරල්ව පැවතියද දැඩි  ශීතල   තදින් අප පෙලන්නට විය. ග්‍රේට් -වෙස්ටර්න්  හිදී සැලළිහිණියා ඇතුළු පිරිවර  සමුහ ඡායාරෑපයකට පෙනී සිටියෙමු.  




මේ  අතරතුර අපට දැඩි පිපාසයක් දැනෙන්නට  වූ  නිසා  දුම්රියේ භෝජන මැදිරියට ගොස් උණුසුම් කෝපි  පානයක  රස බලන්නට වීමු.
මේ අතර  නැවත දුම්රිය පිටත්  වීමට සංඥාව දෙනු ඇසුන බැවින්   කට පුච්චගෙන කොපි පානය ඉක්මන් කල අප     නැවත අප සුපුරුදු මැදිරිය කර පැමින අසුන් ගතිමු. දුම්රිය  පිටත්  වීමට සංඥාව  ලබාදී මද වෙලාවක් ගත වුවද දුම්රිය  ගමන්   කරන බවක්  දක්නට නොවිය ....


අපට  සිහිවුයේ දුම්රියේ සුපුරුදු  ස්වල්ප වෙලාවය.  

නිදහසේ කෝපි පානයටවත් ඉඩ නුදුන් නිසා   අරුණයා  සිටියේ  තරමක කේන්තියකිනි

අරුණ "  මොනවද බන් නිදහසේ 
කෝපි බොන්නවත් දෙන්නේ නේ. අහවල් එක පිම්ඹා    කියල කටත්  පුච්ච්ගත්තා.  රුපියල් 10 ට   ගත්ත එක රුපියල් 7.50  බිල හරියන්නේ නෑනේ"  
  
අරුණගේ  අර්ථ දැක්වීම පිලිඹදව කිසිවකු වාද නොකරන්නට විය.  මේ  අතරතුර  සැලළිහිණියා ගේ ජංගමයේ  පළමු බැටරිය මියගොස්  සිටි බැවින්  රැගෙන ආ දෙවන   බැටරිය දම ජංගමය ඔන් කල පමණි,   මව්තුමියගෙන් මාහට දුරඇමතුමක් ආවේය 

මව්තුමිය " දැන් කොහෙද ඉන්නේ? කෑම  කාලාද? 


සැලළිහිණියා " ඔව් අම්මා  දැන් ඉන්නේ ග්‍රේට් -වෙස්ටර්න්  වල.   මෙහෙට හොදටම වහිනවා  අපි නානුඔයින්   බහිනවා තව ටික වෙලාවකින් "


මව්තුමිය " හරි  පරිස්සමෙන් යන්න. බුදු සරණයි...."  
  
සැලළිහිණියා " බුදු සරණයි අම්මා "

අපි නානුඔයින්   බහිනවා තව ටික වෙලාවකින්   කීවද සැබැ වින්ම යන්නේ කොහාටදැයි තවම නිශ්චිත නැත. තරංග   තවමත් අපි යන්නේ  කොහාටද  යන්න ප්‍රකාශ  කලේ නැත.  යන්නේ  කොහාටදැයි  අසා  නිකරුනේ බැනුම්  අසන්නටද නොහැකිය. යන  දිහාවක යන්නේ නැතැයි කියා   හිත හදා ගත්තෙමි...

විනාඩි 10 ක් පමණ ගතවුවද දුම්රිය  තවම ග්‍රේට් -වෙස්ටර්න් වලය ... යන පාටක් වත් පෙනෙන්නට නැත. ඉදිරියට  අඩියක්  දෙකක් යනවා  දැනුනද   ආපසු අඩි 05ක් පමණ  පස්සට  යනවා විය..  

මේ  ආකාරයෙන් පැයක් පමණ   ගතවිය... දුම්රිය තවම ග්‍රේට් -වෙස්ටර්න් වලය.  බදුල්ල  යන්නට වගක් හෝ නැත.  මේ වනවිට බදුල්ලේ  සිට මහනුවර බලා ධාවනය වන මිශ්‍ර දුම්රියද ග්‍රේට් -වෙස්ටර්න් වලට පැමිනෙන්නට නියමිතය.  එයද තවම නැත. ඒ අතර තුර මගේ ජංගමයේ කැමරාව ක්‍රියාත්මක  කලෙමි.  









නැවතත් ජංගමය නාද   විය. මව්තුමිය නැවත මා අමතන්නට විය.

මව්තුමිය"දැන් නානුඔයට ආවද "

සැලළිහිණියා "තවම ග්‍රේට් -වෙස්ටර්න් වල"

මව්තුමිය" දැන්  පැයකට කලින්  හිටියෙත්   ග්‍රේට් -වෙස්ටර්න් වල නේද?

සැලළිහිණියා " ඔව් අම්ම ට්‍රේන් එක  තවම ග්‍රේට් -වෙස්ටර්න් වල නවත්තගෙන ඉන්නවා ලයින් එකේ මොකක් හරි අවුලක් වගේ"

මව්තුමිය "  හරි  එහෙනම්   බුදු සරණයි"   

දුම්රිය  පිටත් වන වගක් හෝ නොමැත. අවස්ථා   කීපයක්  ඉදිරියත් පසු පසටත්  චලනය වනවා පමණි. මේ  ආකාරයෙන් පැයකුත් විනාඩි 50 ක් පමණ ගත  වන්නට ඇත.    සැලළිහිනි තෙමේ දුම්රිය වේදිකාවේ එහාටත්  මෙහාටත්  ගමන් කලේ අරමුණක් නැතිවය. අනෙක් උන්ට සිදුවෙන්නේ කුමක්ද යන්න අදහසක් හෝ  නොමැත.  

මද වේලාවකින් දුම්රිය ස්ථානාධිපතිවරයා කව්රුන් හෝ සමග බරපතල සාකච්ඡාවකි.  ග්‍රේට් -වෙස්ටර්න් සහ රදැල්ල දුම්රිය ස්ථානය  අතර ප්‍රදේශයක දුම්රිය  මගට විශාල ගසක් කඩාවැටි ඇත. එය ඉවත්  කරන්නට  පිරිසක් ගිය බවත් දෙනගාන්නට ලැබුණි...  ඒ  සමගම කීප  දෙනෙක් කලබලෙන් මෙන් දුම්රිය ස්ථානය වෙත  ළඟ වෙනවා දුටිමි.  දුම්රිය  මගට  වැටුණු   ගස  ඉවත් කරන්නට ගිය පිරිසෙන් එක අයෙකු  එම ගසට යටව තුවාල ලබා ඇති බවත් දැන ගන්නට  ලැබුණි    

සිතුවාට වැඩ බරපතල වී ඇත. දුම්රිය  සෙමින් සෙමින්  රදැල්ල දක්වා ගමන් කර අතර  කිලෝමීටරයක් පමණ වූ දුර ගමන් කරන්නට දුම්රියට මිනිත්තු 30 ක් පමණ ගත විය. අඳුර  ලගාවෙමින් පැ වති අතර  අවට සිදුවන්නේ කුමක්දැයි වැටහීමක් නොමැත. දුම්රිය  එක්වරම මදක් වේගවත් ගමනක නිරත වූ අතර  දුම්රිය මැදිරියේ සිටි කීපදෙනෙක්  එක්වරම

 "අයියෝ  අපි රදැල්ලේ  බහිනවා..."  
"කෝච්චිය නවත්තන්න  කෝච්චිය නවත්තන්න "






මහා හඬින්  කෑගසන්නට වුවද දුම්රිය රදැල්ලේ  නොනවත්වා වේගයෙන් ධාවනය විය. රාත්‍රී 6.30 පමණ  වනවිට මහා අදුරකින් පළාතම ගිලි පැවතුණි දුම්රිය නානුඔයට ළඟා විය. මගින් කීප දෙනෙක් දෙස්දෙවොල් තබමින්   බසින්නට වූ අතරනුවරඑළියේ  ඇවිදින්නට යනවා නම්  අපද නානුඔයෙන්  බැස යායුතුය. 
මඳ වෙලාවක්  නිහඬව  සිටි සැලළිහිණියාත් අචලත්, අරුණත් සමග ඩයන් තරංගගෙන් විමසා සිටියේ

"තරංගයා   අපි    කොහෙද බන් යන්නේ? "

තරංග "  මචන් මේකයි. අපිට නුවරඑළියේ නවතින්න තැනක සෙට් කරගන්න බැරි උනානේ. දැන් ගිහින්  එකක් හොයා ගන්නත් වෙලාවක් නෑනේ."

මේ  අවස්ථාවේ  
අරුණටත්  ඩයන්ටත්  යක්ෂය ආරුඪ වූ බවක් දක්නට ලැබුණි..

ඩයන් " යකෝ අපි  පාරේද   ඉන්නේ මේ  හෙන ගහන සීතලේ ?   මම කිව්වා @%^$&(*)_)*&(&^^_(*+_^&%*&)(+_(_ " 

අරුණ " @$^)(*_)&^%)(_(^+&(+_(_(%)+_)+^%+)*%^&*+)_(^"

තරංග "ඉඳහල්ලකෝ කියනකම් අපේ අයියා   ඉන්නවා  බණ්ඩාරවෙල. එය  බණ්ඩාරවෙල ඉස්ටේෂන් මාස්ටර්. මම අයියට සිද්දිය කිවම පොර කිව්වා එහෙ එන්න කියල සෝ අපි  යමු බණ්ඩාරවෙල "

ඩයන් සහ අරුණ එක්වරම "ඕන රෙ*** යමන් එහෙනම්."

වැඩේ  යන්තම් ශේප් වුයේය. නුවරඑළියේ ඇවිදින්න සිටි අප දැන් බණ්ඩාරවෙල දක්වා  ගමන් කරන්නට  තීරණය කළෙමු. නැවත   මව්තුමිය මා අමතන්නට  පෙර දුරඇමතුමක් ගෙන 
බණ්ඩාරවෙලටයන බව  ප්‍රකාශ කලෙමි. එයට පිළිතුරු  වශයෙන්

 "ඕන තැනක ගියාට කමක් නෑ. නවතින තැනකට  ගිහින් කෝල් එකක් දෙන්න... "  

නානුඔය මද  වෙලාවක් නවතා  තිබු දුම්රිය බදුල්ල  දක්වා ගමන ආරම්භ කළේය. ඔහිය දුම්රිය ස්ථානයේදී  කොළඹ බලා ධාවනයවන රාත්‍රී තැපැල් දුම්රිය එනතුරු රැදී සිට  නැවතත් සුපුරුදු ගමනේ නිරත වන්නට විය.  හපුතලේ පසු  වුවා  පමණි. ඩයනයා ඉන්න බෑ  බන් දහඩිය කියමින්  කමිසය උනා  දමන්නට විය. තද සීතලක් ඇතැයි   සිතුවද  ඩයනයා කිසි වෙනසක් නැතුව ඉන්නට විය. අනතුරුව අප සියලු  දෙනාම කමිස  උනා දමමින් ගී පද කීපයකට තලය අල්ලන පටන් ගත්ත පමණි  අයිස් කැප් විකුණන වෙළෙන්දෙක් අප දෙස කන්න  වගේ  බලාගෙන සිය වෙළඳාම කරන්නට විය. වරක් දෙවරක් අප ගමන් කල මැදිරියේ එහාට මෙහාට ගමන් කල ඔහු  අප අසල තිබු  ආසනයකය හිඳගෙන 

"  මල්ලිලා හැබෑටම සිතල නැද්ද? "  
" නැහැ  අයියේ.  ඒ තරම් අවුලක් නෑ "
"මල්ලිලා  ඔහොම  ඉන්නකොට අනික් අය හිතාවි මෙහෙට සිතල නැ කියල "
" එහෙමද? "

එවදන ඇසු පමාවෙන් ඔහු ආගිය අතක් සොයාගන්නට නොහැකි විය. එක්කෝ  ඔහු වෙළඳාම අතහැර දම  යන්නට ගියාද යන්න  සිතුනද නොවේ .  අප ගමන්කළ      මැදිරියේ  කීප දෙනෙක් අප දෙස බල සිනාසුන වාර  ගණන්ද අනන්තය.

රාත්‍රී 9.00 පමණ වනවිට දුම්රිය බණ්ඩාරවෙල ට ළඟා විය. පැය 12 ක් පමණ වෙහෙසකර ගමනකින් දැඩි ලෙස හෙම්බත්ව සිටි අපව තරංගගේ  අයියන්ඩිය විසින්  සිය නිල නිවාසය කරා  රැගෙන ගියේය. අක්කා විසින් අපට කල් තියාම අහර පිළියෙළ කර තිබු අතර  අයිස් වතුරින්  යන්තම් ඇඟ තෙමා ගත් අප  රාත්‍රී ආහාරය ගන්නට වීමු. 

රාත්‍රී  ආහාරය ගන්න අතර තුර,
අක්කා "අනේ  මල්ලිලා කෑම රසද  දන්නේ නැ   ඉතින්...   ඔයාල  එනවා  කිව්වා ගමන්  මම උයන්න ගත්ත "
 අපි "අනේ නෑ  අක්කේ කෑම රසයි'... අපි ඔක්කොම   හොදට කෑවා..." 
අයියා  "අපි කාලා ඉන්නේ  මල්ලිලා  බඩ පිරෙන්න  කන්න " 


අක්කගේ ආහාර වේල සැබැවින්ම අපට දිව්‍ය භෝජනයක්ම විය.  දත කට පූට්ටුවන සීතලේ  උන් අපට උණුසුම්   එමෙන්ම ප්‍රනීත වූ ආහාර වේල  ගෙන දුන්නේ   ශරීරයට නව  පණක් මය.  අනතුරුව  අත්  සෝදාගන්නට ගිය අවස්ථාවේ අප මුහුණ දුන්නේ අපූරු ගැටලුවකටය. සබන් ගා සෝදන්නට දැඩි  ලෙස අසීරු විය.   කොතරම්  සේදුවද සබන්  ඉවත්ව යමක් දක්නට නොලැබේ. අප දැඩි ආයාසයක් ගෙන පිඟාන සහ  අත්  සෝදා ගත්තෙමු.   


රාත්‍රී ආහාර වේල ගෙන අවසන්  වෙත්ම අයියගේ   කුඩා දියණිය ටිකෙන් ටික අප අසලට  පැමින නොයෙකුත් විස්තර කියවමින් අප හා කුළුපග වුවාය....

මද වෙලාවක් අප  සමග නොයෙකුත් දේ  කියවමින් සිටි ඇයට නිදිමත දැනි සෝපාව මතම නින්ද ගොස් තිබුණි.
 අනතුරුව අයියා  පැමිණ අප හා  දිගු කතා බහකට මුල පිරුණු අතර      තරංග  සහ අයිය අතර දිගු කතාබහක් ඇතිවිය....


අයියා "  මල්ලිලා   හෙට කොහේ   යන්නද හිතන් ඉන්නේ? "

ඩයන්  " අනේ මන්ද අයියේ. අපි ආවේ  නුවරඑළියේ   යනවා කියල ඒත් අන්තිමට ආවේ  බණ්ඩාරවෙලට "

අයියා " ඒක තමයි මේ නැන්දත් මට කිව්වේ.   නුවරඑළියේ  යනවා  කියලලු ආවේ "


අරුණ " ඒකනේ  බලන්නකෝ අයියා.  මූ නංගි  බලන්න කියල  එක්කන් ඇවිත්  දැන්   අක්කව පෙන්නන වනේ "

තරංග " හරි හරි  බන්  අක්කව  හරි  බලල එමුකො ...  අයියා  මේ පැත්තේ බලන්න  කරන්න තියෙන්නේ මොනවද?   "

අයියා  " මල්ලිලා  බදුල්ල පැත්තේ  යනවද? ඒ  පැත්තේ යනවා නම්  දෙමෝදර, ඇල්ල  වගේ එව්වා පුළුවන්"

තරංග " අයියා අපිට හෝර්ටන් තැන්නට යන්න බැරි වෙයිද?


අයියා "  බැරි කමක් නෑ .. ඒත්   ඔයාල යන්නේ    ට්‍රේන්  එකේනේ.  එතකොට උදේ  උඩරට මැණිකේ  එකේ ඔහියට ගිහින්  අයෙමත්  හවසට කොළඹින් එන උඩරට  මැණිකේ  එකේ එන්න ඕන.   ඔහියේ  ඉදන් කිලෝ මීටර් 11 ක් යන්න ඕන එන්ට්‍රන්ස් එකට  ඒක වාහනයක ගියත්  ඊට පස්සේ  ඇතුලේ ඇවිදලා  එනකොට වෙලාව මදි වෙන්න පුළුවන්. එහෙම උනොත්  යේ  පාන්දර වෙනකම් ඉන්න වෙයි නයිට් මේල් එක එනකම්."

අරුණ " එතකොට  නුවරඑළි  පැත්තේ යන එකත් ඒ වගේ වෙයිද? "

අයියා " හ්ම් "

සැලළිහිනියා "  අයියා අපට මේ අවට බලන්න දෙයක්  නැද්ද ?  හපුතලේ   හරියේ වගේ? "

අයියා " එහෙනම් ඇඩිසම් බංගලාව බලන්න යන්න .  කෝකටත් මම උදේට පොඩ්ඩක්   හොයල බලන්නම් විස්තර ටිකක් "



හෙට  දින ඇවිදින්න යන්නේ  කොහාටද යන්න  පිලිඹඳව  තීරණයකින් තොරව   සාකච්ඡාව අවසන් විය..   
අවසානයේ , 

තරංග  " මචන්ලා අපි  ඔහිය පැත්තට යමු.  "


අරුණ  " ඔහියේ කොහිද? "

අචල " යන දේවාලෙක  යමන්කෝ "

ඩයන්  " අචල උඹ  උදේම නැගිටල මල් ටිකක් එහෙම කඩපන්කෝ දේවාලේ වඳින්න යන්න "  

කෙසේ හෝ   එයද තීරණයක්  රහිත විය.   ආවේ  නුවරඑළි  යන්න සිතාගෙනය. අවසානයේ  බණ්ඩාරවෙලට ආවෙමු. දැන්  ඇවිදින්න යන්න තැනක ගැන දන්නේ නැත. මට එක්වරම සිතුනේ හෙට උදේම  එන කෝච්චියේ  නැගී  ආපසු  නිවාස බල යාමටය..


කෙසේ හෝ දත කට පුට්ටුවන සීතලේ  පොරොන කීපයකින්ම පොරවාගෙන අප  නින්දට වැටුනෙමු.      නින්ද යාම කෙසේ වෙතත්  දත කට පුට්ටුවිම නිමාවක්  නොවිය.  " කට කට කට කට කට කට කට කට  " තරඟයට මෙන්  එකිනෙකා සීතලේ වෙව්ලන්නට වීමු.  විටින් විට සැලළිහිනියා   කටේ දත් ඉතිරිව තිබේද යන්න  පරික්ෂා   කල වාර ගණන් අනන්තය .   අවසානයේ  අපටත් නොදැනිම  නින්නද අප කර පැමිණ තිබුණි.  පාන්දර 5.30 පමණ වන විට සැලළිහිනියා  අවදි වූ අතර අනිකුත් සියල්ලන්ම අවදි  කරන්නට වීමි ...
උදැසන තත්වයද රාත්‍රියට දෙවැනි නොවිය. දත් මැද මුහුණ සොදගන්නට දැඩි ආයාසයක් ගන්නට සිදුවිය. රාත්‍රියේ මෙන්ම සබන් ගා සෝදන්නට දැඩි  ලෙස අසීරු විය.   කොතරම්  සේදුවද සබන්  ඉවත්ව යමක් දක්නට නොලැබේ.  සිතල ඊටත්  එහාය. බරපතල මෙහෙයුමකින් අනතුරුව  මුහුණ  සෝදාගෙන උදෑසන ආහාරය සඳහා සුදානම් වීමු.

පෙ:ව 6.20වන විට අක්ක පිළියෙළ කරදුන් ඉඳි ආප්ප අනුභව කරන්නට පටන් ගත්  අතර  උදේ ආහාරය සඳහා   අයියාද නිල නිවසට පැමිණියේය.    උදේ ආහාරය ගෙන අවසන් වූ ගමන්ම

අයියා " මල්ලිලා  හපුතලේ සයිඩ් යනවා නම්  7.00 ට කලින් ස්ටේෂන් එන්න..  ට්‍රේන් එක 7.00 වෙනකොට එනවා.
 

දැන් වේලාව 6.40 පමණ විය.  අප ඉක්මනින් බණ්ඩාරවෙල නගරය කර දිවගියේ  අපට ආහාරයට ගත හැකි යමක් සොයගන්නටය. 
  

අවාසනාවට මෙන්  අපට ගැලපෙන  දෙයක් සොයාගන්නට අපහසු වූ අතර  චොක්ලට් සහ  තවත්  ද්‍රව්‍ය කීපයක්  මිලදීගත් අප ඉතාම ඉක්මනින් දුම්රිය ස්ථානය වෙත ආවේ  කොළඹ බලා ධාවනය වන උඩරට මැණිකේ දුම්රියෙන් හපුතලේ  බලා යාමටය,   දුම්රිය ස්ථානය වෙත පැමිණි  විගස

තරංග  හඬ අවදි කලේ " මචන්ලා  අපි ඔහියට ටිකට් ගමු."

අචල " ඇයි බන් ඔහිය ?"

දයාන් " අචලයා  මතකනේ   එනවා කිව්වේ   නුවරඑළියේ. 
ටිකට් ගත්තේ  බණ්ඩාරවෙලට ඒ වගේ  තමා  ටිකට් ඔහියට  යන්නේ  හපුතලේ."

අරුණ " අන්න හරි ඩයන්යා   අදත් නංඟී  පෙන්නවා    කියල කියලා  අක්කව  පෙන්නන්නයි හදන්නේ  "
එවරනම් අපට සිනා නොවී සිටින්නට අපහසු විය.  ඊයේ  රාත්‍රියේ මේ දේ  කියනවිට අප දෙස  කන්නට වගේ   බැලු තරංගයාද  කොක් හඬලා සිනාසෙන්නට විය ..  






එවිටම අයිය  තවත්  අයෙකු සමග  අප සිටින  දෙසට පැමිණියේය. 

අයියා  "
ඔන්න මල්ලිලා   මේ  මහත්තය  කියයි මල්ලිලට ඇවිදින්න යන්න හොඳ ප්ලේස් එකක්."

සැලළිහිනියා "යන්තම් ඇති  යන්න කලින්  මේ වගේ  දෙයක්වත් අහපු එක "

ඩයන් " සිරාවටම මචන්  නැත්නම්  යන දිහාවක් දන්නේ නැතුවනේ අපි  ආවේ "

අරුණ " අඩෝ  බන් අර  පොරට කියන්න ඕන  "" ඇරපන්  බන්  කට   සතේ කාසියක්  දානවා  උඹේ  කට්ට  කියල""  අපිට  බලන්න යන්න තැනක් කීවට"

ඩයන් " තු නොදකින්  තියාගනින් උඹේ සතේ.  ඔය  යක කියන්න අපු එකත්  කියන එකක් නෑ "  


අප තවම ටිකට් ගත්තේ  නැත.  තරංගත් අයියාත්  අප නාඳුනන  මිනිසා සමග බරපතල සාකච්චාවකි   අනතුරුව  ජයග්‍රාහී විලාශයෙන් තරංගයා අප කරා පැමිණ, 

තරංග "  මචන්ලා වැඩේ  හරි  යමල්ල ඉක්මනට ටිකට් ගන්න යන තැන හරි.  

අචල "  කොහාටද  බන් "

තරංග "  යන ගමන් කියන්නම්කො  දැන් ට්කට් ගමුකො. කෝ කලෙක්ෂන් දාල දීපන් මම  ගන්නම් ටිකට්"

අරුණ ' නොදකින් මම හිතුවේ  කියපු විදියට උඹ ගානේ ටිකට් ගනී  කියල "

ඊයේ  ගමන ආරම්භ කල්  පසුව යන තැනක් දැනගෙන ගමනාරම්භ කරන පළමු අවස්ථාවය.  ඒ වන  විටම කොළඹ කොටුවේ සිට බදුල්ල බල ධාවනය  වන රාත්‍රී තැපැල්   දුම්රියද  ප්‍රමාදවී බණ්ඩාරවෙලට ළඟා වුයේය. වේදිකාවේ මද වෙලාවක් නවතා   තබා යලි  පසු පසට ධාවනය   කොට අනෙක් මාර්ගය වෙත දුම්රිය ධාවනය කොට  නවතා  තැබුවේ  කොළඹ බලා  ධාවනය වන දුම්රියට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ළඟාවීමට ඉඩ  ලබා දීම පිණිසය.     ඒ අතරම බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ  නිවේදනය ආරම්භ විය . නිවේදනය යන අතරතුර උඩරට මැණිකේ   දුම්රියද වේදිකාව වෙත ළඟා වුවාය.   



 

බණ්ඩාරවෙල අපි 

ඒ අතර තුර තරංගයා   ටිකට් රැගෙන  ආවේය.   
 තරංග " හරි මචන්ලා "

සැලළිහිනියා "  කොහාටද  මචන්  අපි  යන්නේ ? "

තරංග " අපි යන්නේ  මචන්   පුලුවන්නම් කියපන්  නයිට් මේල් එකේ  බදුල්ලටද?  නැත්නම්  උඩරට මැණිකේ  එකේ  ඔහියටද??"

ඩයන් " අපි දන්නවද බන්  උඹනේ  ටිකට්  ගත්තේ ..  යන  දේවාලෙක දැන්වත්  යමන්කෝ   ට්‍රේන් 2කම දැන්  තියනවනේ "

තරංග "හරි  හරි  නැගහල්ලකෝ  කෝච්චියට "

අරුණ "  කොයි   එකටද බන් ? "

තරංග " හරි  වරෙන්  යන්න මෙන්න උඹලගේ ටිකට්  පරිස්සම්  කර ගනිල්ලා "  

අප වෙත ටිකට් පත ලැබුණි.  යන්නේ  කොහාටද යන්න   අපද දැන ගත්තේ  එවිටය.  අප සැමදෙනාම  ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව ගමනාරම්භයට  සුදානම් ව  දුම්රියට නැගුනෙමු  .......................



1. අපගේ සංචාරක ඉසව්ව බදුල්ල දෙසටද?  ඔහිය දෙසටද?

2. අප ගමන් කරන්නේ  උඩරට මැණිකේ  දුම්රියේ ද?

2. නැත්නම් බදුල්ල බලා  ධාවනය වන රාත්‍රී තැපැල් 
දුම්රියේ    ?




   


   


7 comments:

  1. බලමු බලමු ඊළඟ කොටසින් කස්ටිය ගියේ කොහේද කියල ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි RuwanRoshan, සැලළිහිණි ඉසව්වට පැමිණ ලබාදෙන සහයට.
      පුළුවන්ද කියන්න අපි කොයි ඉසව්වටද ගියේ කියල :D :D

      Delete
  2. kathawa niyamai man 2 kiyewuwa anikath ikmanata danawanam wati .....poto tikak wedipura demmoth hodai ilaga aekata

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට. ඊලග කොටස පුළුවන් ඉක්මනට දාන්නම් .

      Delete
  3. ade mama adayi meka dakke. hodata liyala thiyanawa machan. thwath eka eka wenas dewal meken dapan. ubata sirawata liyanna puluwan jaya wewa

    ReplyDelete
  4. Elaga kotasath danna. 1 & 2 kiyewwa

    ReplyDelete
  5. machan kathawa ela. udalu aran enawa kiwama hithune train eke kawru hari padiri wedak karala unta gahanna enawa kiyala. ekaliri kolla kathawa okkoma dapan

    ReplyDelete

එක් කලාවූ අදහස් උදහස්